බන්ධනාගාරගත කර සිටින පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වහාම නිදහස් කරන ලෙස බලකරමින් කොළඹ විහාරමහාදේවී උද්යාන පරිශ්රයේ අඛණ්ඩ සත්යග්රහයක නිරතව සිටි පූජ්ය බලංගොඩ කස්සප හිමියන් හදිසියේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. ඒ, අද (17) පස්වරුවේ සත්යග්රහ භූමියේ හටගත් දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් අතරතුර එල්ල වූ බව කියන පහරදීමක් හේතුවෙනි.
වාර්තා වන ආකාරයට මෙම උණුසුම් තත්ත්වය නිර්මාණය වී ඇත්තේ සත්යග්රහයේ නිරතව සිටි පිරිස සහ එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙනි. දෙපාර්ශ්වය අතර ඇති වූ මෙම තත්ත්වය දැඩි නොසන්සුන්තාවයකට පෙරළී ඇති අතර, එහිදී පොලිස් නිලධාරීන් විසින් පූජ්ය බලංගොඩ කස්සප හිමියන්ට පහරදීමක් සිදුකළ බවට සත්යග්රහයේ නියුතු පාර්ශ්වයන් දැඩි ලෙස චෝදනා කරති.
මෙම සිදුවීමෙන් අනතුරුව, සත්යග්රහයේ රැඳී සිටි පිරිස් විසින් එම ස්ථානයට වහාම 1990 සුවසැරිය ගිලන් රථයක් කැඳවීමට පියවර ගෙන ඇත. ඒ අනුව, පහරකෑමට සහ නොසන්සුන්තාවයට මුහුණ දුන් කස්සප හිමියන් කඩිනමින් රෝහල්ගත කිරීමට ඔවුහු කටයුතු කළහ.
ඥානසාර හිමියන් නිදහස් කරගැනීමේ අරමුණින් ඇරඹි මෙම සත්යග්රහ භූමිය තුළ හටගත් මෙම හදිසි ගැටුම්කාරී තත්ත්වයත් සමඟ මේ වන විට විහාරමහාදේවී උද්යානය සහ ඒ අවට ප්රදේශයේ ආරක්ෂාව තර කර තිබේ. අදාළ ප්රදේශය පුරා දැඩි ආරක්ෂක රැකවල් යොදවා ඇති අතර, තවදුරටත් එහි උණුසුම් වාතාවරණයක් පවතින බව ද වාර්තා වේ.
