හොරුන්ට, දූෂිතයන්ට සහ කුඩු ජාවාරම්කරුවන්ට දඬුවම් ලබාදීමට එරෙහිව ක්රියාත්මක වන කුමන්ත්රණ පරාජය කිරීමේ අරමුණින් සංවිධානය කෙරුණු දැවැන්ත විරෝධතා පාගමනක් කොළඹ කොටුවේ සිට ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පැමිණියේය.
"ජනවරමේ පුරවැසියෝ" විසින් සංවිධානය කරන ලද මෙම පාගමන සඳහා අතිවිශාල ජනකායක් එක්ව සිටි අතර, මහා සංඝරත්නය විසින් ඊට මූලිකත්වය ගෙන කටයුතු කරනු ලැබීය. විරෝධතාවයට එක්ව සිටි පිරිස "හොරුන්ට දඬුවම් දීමට එරෙහි කුමන්ත්රණ පරදවමු" යනුවෙන් සටහන් කළ විරෝධතා පාඨ රැගෙන ජනාධිපති කාර්යාලය ආසන්නයටම පැමිණීමට කටයුතු කළහ.
එහිදී විරෝධතාකරුවන් අවධාරණය කළේ සිය ඉල්ලීම් ඇතුළත් සංදේශයක් සෘජුවම ජනාධිපතිවරයා වෙත භාර දීමට අවශ්ය බවයි. එහෙත් එම අවස්ථාවේ ජනාධිපති කාර්යාලය අසල රැඳී සිටි පොලිස් නිලධාරීන් විරෝධතාකරුවන්ට දැනුම් දුන්නේ මේ මොහොතේ ජනාධිපතිවරයා එහි නොමැති බවයි.
කෙසේ වෙතත්, අදාළ සංදේශය ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් වෙත භාරදීම සඳහා අවශ්ය පහසුකම් සලසා දිය හැකි බව පොලිසිය එහිදී විරෝධතාකරුවන්ට පැවසීය. එම එකඟතාවයට අනුව, අදාළ සංදේශය භාරදීම වෙනුවෙන් විරෝධතාවයට එක්ව සිටි භික්ෂූන් වහන්සේලා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත වැඩම කළහ.
