ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව නිදහස් කරන ලෙස බලකරමින් මහනුවරින් ඇරඹි විරෝධතා පාගමන කොළඹ දක්වා පැමිණෙද්දී, නීතිය ඉදිරියේ සියල්ලන් සමාන බවත් කිසිවකුටත් විශේෂ වරප්රසාද ලබා දීමට රජය සූදානම් නොමැති බවත් වත්මන් ආණ්ඩුව දැඩිව අවධාරණය කර සිටියි.
පසුගිය ඔක්තෝබර් 10 වැනිදා මහනුවර ශ්රී දළදා මාළිගාව අසලින් ආරම්භ වූ ‘චීවරයට සාධාරණය – නිදහස් පාගමන’ මේ වන විට කොළඹ කේන්ද්ර කරගනිමින් ක්රියාත්මක වෙමින් පවතී. ඥානසාර භික්ෂුවට නිදහස ඉල්ලා හඬ නඟන මෙම භික්ෂූන් වහන්සේලා ඊයේ (15) කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය අසලට පැමිණ, රජයෙන් ස්ථිර පිළිතුරක් අපේක්ෂාවෙන් එතැන රාත්රිය පුරා රැඳී සිටියහ.
එහෙත් අදාළ ස්ථානයේ විරෝධතා පැවැත්වීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් නිකුත් වීමත් සමග, අද (16) සිය තාවකාලික කූඩාරම් ඉවත් කරගැනීමට විරෝධතාකරුවන්ට සිදුවිය. අනතුරුව ඔවුහු බුද්ධශාසන අමාත්යාංශය වෙත පියනැගූ අතර, එහිදී රජයේ පාර්ශ්වය සමග සාකච්ඡා කිරීම සඳහා විරෝධතාවයේ නිරත භික්ෂු නියෝජිතයින් සිව්දෙනෙකුට අවස්ථාව හිමිවිය.
මෙම සිදුවීම් මාලාව මැද භික්ෂූන් වහන්සේලාගේ ඉල්ලීම් සම්බන්ධයෙන් කැබිනට් ප්රකාශක අමාත්ය නලින්ද ජයතිස්ස දක්වා ඇත්තේ සෘජු ප්රතිචාරයකි. ඔහු පෙන්වා දෙන්නේ පුද්ගලයාගේ තරාතිරම හෝ සමාජ තත්ත්වය කුමක් වුවත් සැමට සාධාරණව සහ සමානව නීතිය ක්රියාත්මක කිරීම සඳහා රජය පූර්ණ ලෙස කැපවී සිටින බවයි.
අතීතයේ පැවැති පාලන සමයන්හිදී සාමාන්ය ජනතාවට එක් ආකාරයකටත්, දේශපාලන බලය හෝ බලපෑම් කළ හැකි තනතුරු දරන පුද්ගලයන්ට තවත් ආකාරයකටත් නීතිය ක්රියාත්මක වූ අයුරු ජනතාව අත්දැක ඇති බව අමාත්යවරයා සඳහන් කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජයග්රහණයට මෙන්ම වත්මන් ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලැබීමට ප්රධානතම හේතුවක් වූයේද, පෙර පැවැති පාලනයන් යටතේ අසමාන ලෙස නීතිය ක්රියාත්මක වීම සම්බන්ධයෙන් මහජනතාව තුළ පැවැති දැඩි අප්රසාදය බව ඔහු සිහිපත් කළේය.
එවැනි වෙනස්කම් කිරීමේ සිරිත් අවසන් කරන බවටත් නීතිය සැමට සමානව ක්රියාත්මක කරන බවටත් ආණ්ඩුව පොරොන්දු වී ඇති අතර, එය ආණ්ඩුවට ඡන්දය දුන් ජනතාවගේ පමණක් නොව, ඡන්දය ලබා නොදුන් පිරිසගේ ද පොදු අපේක්ෂාව බව ජයතිස්ස මහතා අවධාරණය කළේය.
පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ ලබාදුන් ජනාධිපති සමාව මෙන් මෙවරද ඥානසාර භික්ෂුව නිදහස් කරන ලෙස කෙරෙන ඉල්ලීම් පිළිබඳව ද අමාත්යවරයා පැහැදිලි කිරීමක් කළේය. ඔහු පෙන්වා දුන්නේ අදාළ භික්ෂුවට හිමිව ඇති සිරදඬුවම අධිකරණයක් විසින් පනවන ලද්දක් බවයි.
අධිකරණ තීන්දු සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කිරීමට පුද්ගලයන්ට අයිතියක් පැවතියද, මෙම සිදුවීමට අදාළ නීතිමය ක්රියාමාර්ග මේ වන විටත් අවසන් වී ඇති බව කැබිනට් ප්රකාශකවරයා සඳහන් කළේය. අධිකරණ නියෝග ක්රියාත්මක කිරීම රජයේ වගකීමක් වන බැවින්, යම් පුද්ගලයෙකුගේ නිශ්චිත අනන්යතාවය හෝ සමාජ තත්ත්වය පදනම් කරගෙන විශේෂ සැලකිලි දැක්විය නොහැකි බව ඔහු ප්රකාශ කළේය.
තනි පුද්ගලයෙකුගේ වාසිය උදෙසා ස්ථාපිත නීතිය වෙනස් කිරීමට හෝ සකස් කිරීමට මහජනතාව අපේක්ෂා නොකරන බවත්, රජයේ සියලු තීරණ නීතිමය පටිපාටියට අනුකූලවම ගනු ලබන බවත් අමාත්යවරයා වැඩිදුරටත් පැහැදිලි කර තිබේ.
රජය සිය නීතිමය ස්ථාවරය මෙලෙස පැහැදිලි කර තිබියදීත්, බෞද්ධ භික්ෂූහු සිය විරෝධතා අඛණ්ඩව ඉදිරියට ගෙන යති. බුද්ධශාසන අමාත්යාංශයේ පැවැති සාකච්ඡාවලට එක්වූ භික්ෂු නියෝජිතයින් ප්රකාශ කර ඇත්තේ, ඥානසාර භික්ෂුව නිදහස් කරන තුරු තමන් විහාරමහාදේවි උද්යානයේ රැඳී සිටින බවයි.
