the-compass-is-not-afraid-of-palace-conspiracies-in-colombo

දශක ගණනාවක් පුරා මෙරට දේශපාලනය හැඩගැස්වූ පවුල් බලය, මැර බලය සහ මාධ්‍ය බලය පසෙකලා හුදෙක් ජනතා බලයෙන් පමණක් ගොඩනැගුණු වත්මන් ආණ්ඩුව, කොළඹ කේන්ද්‍රීය මාලිගා කුමන්ත්‍රණ හමුවේ කිසිසේත් පසුබට නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. "අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි" යන තේමාව යටතේ ඊයේ (11) නිකවැරටියේදී පැවති දැවැන්ත ජනරැලිය අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, මාලිගා කුමන්ත්‍රණ හරහා ආණ්ඩුව පෙරළා දැමීමට සිතීම පවා නිශ්ඵල ක්‍රියාවක් බවට අනතුරු අඟවමිනි.

මහා සංඝරත්නය ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම රැලිය පැවැත්විණි.




ගතවූ වසර දෙකක කාලය තුළ රටේ අත්තිවාරම නැවත ගොඩනැගීමට ගත් පියවර මෙන්ම එහිදී එල්ල වන අභියෝග ද ජනාධිපතිවරයා මෙහිදී විග්‍රහ කළේය. විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය සහ පාතාලය මර්දනය කිරීමේදී රජය ලබා ඇති ප්‍රගතිය ඔහු සංඛ්‍යාලේඛන සහිතව පෙන්වා දුන්නේය. එම වසර දෙකක කාලය තුළ පොහොර මිටි හැටක් තරම් වන හෙරොයින් කිලෝග්‍රෑම් 3511ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 6206ක් සහ කොකේන් කිලෝග්‍රෑම් 308ක් අත්අඩංගුවට ගෙන තිබේ. ඊට අමතරව පාතාලයෙන් ටී-56 ගිනිඅවි 93ක්, පිස්තෝල 139ක් සහ රිවෝල්වර 104ක් අත්අඩංගුවට ගෙන ඇත. මෙම මෙහෙයුම් හේතුවෙන් කලබලයට පත් වූ ඇතැම් පාර්ශ්ව කුඩු සල්ලි යොදවා සමහර නාලිකා හරහා ආණ්ඩුවට පහර දෙමින් සිටින බවට ජනාධිපතිවරයා චෝදනා කළේය. එහෙත්, පාතාල සාමාජිකයන් ලෝකයේ කොතැනක සැඟවී සිටියත් ඔවුන් සොයා මෙරටට ගෙන එන බව ඔහු අවධාරණය කළේය.

නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු කිරීම රජයේ ප්‍රධාන අරමුණක් වී තිබේ. අතීතයේදී ගම් මට්ටමින් දේශපාලන බලය අතැතිව සිටි පුද්ගලයන් නීතියට ඉහළින් සිටිමින් ගස් කැපීම, වැලි ගොඩදැමීම සහ කසිප්පු පෙරීම වැනි නීතිවිරෝධී ක්‍රියාවල නිරත වූ බවත්, පොලිසියට පවා ඔවුන්ට එරෙහිව පියවර ගත නොහැකි වූ බවත් ඔහු සිහිපත් කළේය. එහෙත් අද වන විට කිසිවකුටත් සුවිශේෂී නීති නොමැති අතර, තරාතිරම නොබලා සැමට එක හා සමානව නීතිය ක්‍රියාත්මක වන බව ඔහු පැවසීය. නීතිය ශක්තිමත් කිරීම සඳහා පොලිස් නිලධාරීන් සංඛ්‍යාව අසූ දහසක් දක්වා වර්ධනය කිරීමටත්, නීතිපති දෙපාර්තමේන්තුව සහ අධිකරණ පද්ධතිය වෙනුවෙන් විශාල ප්‍රතිපාදන වෙන් කිරීමටත් රජය පියවර ගෙන ඇත. මීට අමතරව වැරදිකරුවන් පුනරුත්ථාපනය සඳහා විධිමත් බන්ධනාගාර පද්ධතියක් ද ගොඩනගමින් පවතී. අද පාරට බැස ආණ්ඩුව එළවිය යුතු යැයි කෑගසන්නේ, අතීතයේදී නීතියට ඉහළින් සිටිමින් වරප්‍රසාද භුක්ති විඳිමින් කටයුතු කළ එම පිරිස බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.




මහජන දේපළ කොල්ලකෑ පුද්ගලයන්ට ලෝකයේ කොහේවත් සැඟවී ජීවත් වීමට ඉඩ නොදෙන බවට ජනාධිපතිවරයා යළිත් සහතික විය. ජාත්‍යන්තර සම්මුතීන් පවතින රටවලට පලාගොස් සිටින අය ද මෙරටට ගෙනවිත්, ඔවුන්ට එරෙහිව අධිචෝදනා ගොනු කර කඩිනමින් නඩු පැවරීමට කටයුතු කරන බවත්, මෙම කටයුතු සඳහා යම් කාලයක් ගතවුවද ඉතිරි වසර තුන සහ ඊළඟ ධුර කාලය තුළදීත් අඛණ්ඩව එම පුද්ගලයන් නීතිය හමුවට ගෙන එන බවත් ඔහු ප්‍රකාශ කළේය.