shiranthi-is-also-hospitalized

වැලිකඩ බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකය වෙත ඇතුළත් කර තිබේ. බන්ධනාගාර රෝහලේ වෛද්‍ය නිර්දේශ මත ඇයව මෙලෙස ජාතික රෝහල වෙත මාරු කර යවා ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.




මින් ඉහත නඩු වාරයේදී ඇයගේ විවිධ රෝග ගැන නීතීඥවරයා කරුණු ඉදිරිපත් කළ අතර

ඇයගේ දිවුරුම් ප්‍රකාශය අනුව, ඇයගේ හෘද රෝගී තත්ත්වය පිළිබඳ පළමු වාර්තාව 2019 වසර දක්වා දිව යයි. 2019 සැප්තැම්බර් 7 වැනිදා නවලෝක රෝහලේදී සිදුකළ CT Coronary Angiogram පරීක්ෂණයකදී, හෘදයට රුධිරය සපයන ප්‍රධාන කිරීටක ධමනි තුනේම plaque තැන්පත්වීම් සහ සුළු පටුවීම් හඳුනාගෙන ඇති අතර, එම තත්ත්වය "Triple Vessel Disease" ලෙස වෛද්‍ය වාර්තාවල සටහන් වී තිබේ. ඊට අමතරව අධි රුධිර පීඩනය සහ කොලෙස්ටරෝල් ඉහළ යාමද තමා මුහුණ දෙන රෝගී තත්ත්ව අතර ඇති බව ඇය සඳහන් කර ඇත. මෙම වසරේ සැප්තැම්බර් 15 වැනිදා ඔක්කාරය, අධික වෙහෙස, කරකැවිල්ල සහ ශාරීරික අපහසුතාව හේතුවෙන් තමා නැවත නවලෝක රෝහලට ඇතුළත් වූ බවත්, එහිදී මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා යටතේ ප්‍රතිකාර ලබාගත් බවත් ශිරන්ති රාජපක්ෂ මහත්මිය අධිකරණයට දන්වා තිබේ. එම අවස්ථාවේදී ඇයට ඇතිවූ කරකැවිල්ල Vertigo තත්ත්වයක් ලෙස හඳුනාගෙන ඇති අතර, අධි රුධිර පීඩනය, අධික කොලෙස්ටරෝල් සහ දියවැඩියාව ද පවතින බව වෛද්‍ය වාර්තාවල සටහන් වී ඇති බව ඇය ප්‍රකාශ කර ඇත. ඒ සඳහා Aspirin, Crestor සහ Nebivolol ඇතුළු ඖෂධ ලබාදී තිබූ බවද දිවුරුම් ප්‍රකාශයේ වැඩිදුරටත් දැක්වේ.




ඉන් අනතුරුව සිංගප්පූරුවේදී සිදුකළ වැඩිදුර හෘද පරීක්ෂණවලදී, සැප්තැම්බර් 21 වැනිදා ඇයගේ Total Coronary Calcium Score අගය 1022ක් ලෙස වාර්තා වූ බව ඇය අධිකරණයට කියා සිටියි. හෘද ධමනිවල කැල්සියම් තැන්පත්වීමේ ප්‍රමාණය මනින මෙම අගය 400 ඉක්මවීම පවා වෛද්‍ය විද්‍යාත්මකව ඉහළ අවදානම් මට්ටමක් ලෙස සැලකේ. එමෙන්ම ගෙලෙහි පිහිටි carotid ධමනි ප්‍රදේශයේද කැල්සියම් සහිත plaque තැන්පත්වීමක් පවතින බව එම පරීක්ෂණවලදී හඳුනාගෙන ඇත. ඒ අනුව හෘද රෝග විශේෂඥ වෛද්‍ය දිනේෂ් නායර් මහතා ඇයට ඖෂධ නියම කර ඇති අතර, පපුවේ වේදනාවක් ඇතිවුවහොත් වහාම භාවිත කිරීම සඳහා Nitromint Spray ද ලබාදී ඇති බව දිවුරුම් ප්‍රකාශයේ සඳහන් වේ.

තමාට දිගින් දිගටම විශේෂඥ වෛද්‍ය අධීක්ෂණය සහ ප්‍රතිකාර අවශ්‍ය බවත්, එවැනි ප්‍රතිකාර නොලැබුණහොත් තම ජීවිතයට අවදානමක් ඇතිවිය හැකි බවත් ශිරන්ති රාජපක්ෂ මහත්මිය සිය දිවුරුම් ප්‍රකාශය මගින් අධිකරණය හමුවේ අවධාරණය කර තිබිණි. මෙම රෝහල්ගත කිරීමට දින කිහිපයකට පෙර ඇයව අක්ෂි ආබාධයක් හේතුවෙන් රෝහල් වෙත යොමු කර තිබුණි. ඒ අනුව ඔක්තෝබර් 8 වැනිදා ඇයව බන්ධනාගාර විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත යොමු කෙරුණු අතර, අනතුරුව ඔක්තෝබර් 9 වැනිදා වැඩිදුර විශේෂඥ ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික අක්ෂි රෝහල වෙතද රැගෙන යන ලදී. එහිදී ප්‍රතිකාර ලබාදීමෙන් පසු ඇයව යළිත් බන්ධනාගාරය වෙත රැගෙන විත් තිබුණි.



හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ඇයව අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය ඔක්තෝබර් 7 වැනිදා කිරුළපන, පූර්වාරාම පාරේ පිහිටි ඇයගේ නිවසේදීය. ඒ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසිනි. සිරිලිය සවිය අරමුදලට සම්බන්ධ ගිණුමක සිදුවී ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතා සහ ගනුදෙනු සම්බන්ධයෙන් පැය දෙකකට ආසන්න කාලයක් ඇයගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කෙරිණි.

මේ අතර, සිරිලිය සවිය අරමුදලට අදාළ විමර්ශන ඔස්සේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය (FCID) මගින් සිදුවිය හැකි අත්අඩංගුවට ගැනීමක් වළක්වන ලෙස ඉල්ලා ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබූ අපේක්ෂිත ඇප අයදුම්පත ද මීට පෙර ප්‍රතික්ෂේප වී තිබුණි. ශිරන්ති මහත්මියගේ සැමියා වන මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයාද මේ වනවිට සිටින්නේ නවලෝක රෝහලේය. බන්ධනාගාරගතව සහ රෝහල්ගතව සිටින ඇයගේ ඉදිරි නීතිමය ක්‍රියාවලියට අනුව, හෙට ඔක්තෝබර් 13 වැනිදා ඇයව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. ඊට අමතරව, වැඩිදුර ප්‍රශ්න කිරීම් සඳහා ඇයව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවට ද ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.