සිරගත කරනු ලබන බෞද්ධ භික්ෂූන් වහන්සේලා බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යන අවස්ථාවලදී උන්වහන්සේලාට සිය චීවරය දැරීම සඳහා පූර්ණ අවසරය ලබාදීමට බන්ධනාගාර නීති සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ. මෙම අවසරය අදාළ භික්ෂූන් වහන්සේ අයත් නිකාය මගින් එසේ නොකරන ලෙස දැනුම්දෙන තෙක් අඛණ්ඩව බලාත්මක වන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්ය හර්ෂණ නානායක්කාර මහතා ප්රකාශ කළේය.
අමාත්යවරයා මේ බව අනාවරණය කළේ බන්ධනාගාර ආඥාපනත යටතේ සකස් කර ඇති නීති රෙගුලාසි සහ නිත්ය නියෝග යාවත්කාලීන කිරීම උදෙසා පත්කරන ලද විශේෂ කමිටුවේ වාර්තාව සම්බන්ධයෙන් මාධ්ය වෙත කරුණු දක්වමිනි. එම කමිටු නිර්දේශයන්ට අනුව බන්ධනාගාර නිත්ය නියෝග 356 සංශෝධනය කර ඊට 356 (අ) ලෙස නව කොටසක් එක් කිරීමටත්, දෙපාර්තමේන්තු නියෝග 550 සංශෝධනය කිරීම සඳහා අතුරු විධානයක් හඳුන්වාදීමටත් මේ වනවිට යෝජනා වී ඇත.
නව සංශෝධනවලට අනුව යම් බෞද්ධ භික්ෂුවක් සිරකරුවකු ලෙස බන්ධනාගාරගත කෙරෙන අවස්ථාවකදී විශේෂ ක්රියාපටිපාටියක් අනුගමනය කිරීමට නියමිතය. එහිදී එම සිරකරු එතෙක් හැඳ සිටි ස්වකීය ඇඳුම ඉවත්කිරීම සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට දැනුම්දී, ඒ අනුව නිසි ක්රියාමාර්ග ගැනීම සඳහා බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත දින දහයක කාලයක් ලබා දී තිබේ.
නිත්ය නියෝග 550 වෙත අලුතින් එක්වන කොටස මගින් සිරගත භික්ෂුවකට බන්ධනාගාරයෙන් බැහැරට රැගෙන යන ඕනෑම අවස්ථාවක චීවරය පැළඳ සිටීමට මෙලෙස නිත්යානුකූලවම හිමිකම ලැබේ. තවද, වෙනත් ආගමකට අයත් පූජ්ය පක්ෂයේ නියෝජිතයෙකු සිරකරුවෙකු බවට පත්වන අවස්ථාවකදී ද මෙම ප්රතිපාදන ඊට අදාළ වන පරිදි වෙනස් කරගනිමින් යොදාගත යුතු බව අධිකරණ අමාත්යවරයා පෙන්වා දුන්නේය.
මෙම නීති සංශෝධනයේ මූලික හරය ඇතුළත් අතුරු කමිටු වාර්තාව සහ ඊට අදාළ ලිපිය මේ වනවිටත් වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත යොමුකර ඇත. ඒ අනුව අදාළ නිර්දේශයන්හි දැක්වෙන ආකාරයට දැනට බලාත්මක බන්ධනාගාර නිත්ය නියෝග කඩිනමින් සංශෝධනය කරන ලෙස අමාත්යවරයා විසින් කොමසාරිස් ජනරාල්වරයාට වැඩිදුරටත් උපදෙස් ලබාදී තිබේ.
