වඩා යහපත් ජීවිතයක් අපේක්ෂාවෙන් විදෙස්ගත වී, සෞදි අරාබියේදී මරණ දණ්ඩනයට මුහුණ දී සිටි ශ්රී ලාංකිකයෙකු වන අනෝජන් සිවරාසා වෙත පනවා තිබූ එම දඬුවම ඉවත් කිරීමට සෞදි ශ්රේෂ්ඨාධිකරණය ගත් තීරණය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ දැඩි ඇගයීමට ලක්ව තිබේ. මෙම තීරණය අනෝජන්ට, ඔහුගේ පවුලේ ඥාතීන්ට මෙන්ම මේ පිළිබඳව දැඩි උනන්දුවකින් පසුවූ සමස්ත ශ්රී ලාංකිකයන්ටම විශාල අස්වැසිල්ලක් සහ සහනයක් බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
ජනාධිපතිවරයා සිය 'X' ගිණුමේ සටහනක් තබමින් ප්රකාශ කර ඇත්තේ, මෙම යහපත් ප්රතිඵලය ළඟා කර ගැනීමට මිත්රශීලී රාජ්යයක නීතිමය ක්රියාවලියට ගරු කරමින් සිදුකළ ඉවසිලිවන්ත රාජ්ය තාන්ත්රික මැදිහත්වීම් සෘජුවම හේතු වූ බවයි. එසේම, විදේශගත ශ්රී ලාංකිකයෙකු වෙනුවෙන් නොකඩවා පෙනී සිටි සියලු පාර්ශ්වයන්ගේ නොපසුබස්නා උත්සාහය ද ඔහු එහිදී අගය කර ඇත. මෙම තීරණය වෙනුවෙන් සහයෝගය දැක්වූ සෞදි අරාබි රජයට විශේෂ ස්තූතියක් පිරිනමන ජනාධිපතිවරයා, මෙම නීතිමය ක්රියාවලිය සඳහා කැපවීමෙන් කටයුතු කළ දෙරටේම රාජ්ය තාන්ත්රිකයන්ට, රාජ්ය නිලධාරීන්ට සහ නීති කණ්ඩායම් වෙත ද ශ්රී ලංකා රජයේ ප්රණාමය පුද කර තිබේ.
මරණ දඬුවම ඉවත් කළ ද, අනෝජන්ට එරෙහිව පවතින ඉතිරි නීතිමය ක්රියාපටිපාටීන් සම්පූර්ණ වන තෙක් ඔහුට මෙන්ම ඔහුගේ පවුලේ අයට අවශ්ය සියලු සහයෝගය ඉදිරියටත් ලබාදීමට රජය සූදානමින් සිටින බව ජනාධිපතිවරයා අවධාරණය කර ඇත. වඩා හොඳ ජීවනෝපායක් සොයා විදේශගත වන කිසිදු ශ්රී ලාංකිකයෙකුට තමන් තනිවී ඇතැයි යන හැඟීමක් කිසිදා ඇති නොවිය යුතු බව පවසමින් ජනාධිපතිවරයා සිය සටහන තවදුරටත් අර්ථවත් කර තිබේ.
