රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියට සිය නිවසින් ආහාර ලබාගැනීම සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් අවසර ලබා දී තිබේ.
මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින ඇයව සාමාන්ය කාන්තා රැඳවියන් පසුවන වාට්ටුවක් වෙත යොමු කර ඇති බව බන්ධනාගාර මාධ්ය ප්රකාශක සේනක පල්ලේතැන්න මහතා සඳහන් කළේය. කෙසේ වෙතත්, එම සාමාන්ය වාට්ටුව තුළ වුවද ඇය වෙනුවෙන් විශේෂ ආරක්ෂාවක් සැපයීමට බන්ධනාගාර බලධාරීන් පියවර ගෙන ඇත.
රාජ්ය බැංකුවකින් රුපියල් ලක්ෂ 100ක මුදලක් ලබාගෙන එය සාවද්ය ලෙස පරිහරණය කිරීම, දූෂණය සහ පොදු දේපළ පනත යටතේ ගැනෙන වැරදි සිදු කළ බවට වන චෝදනා මත පසුගිය 7 වැනිදා ඇයව අත්අඩංගුවට ගනු ලැබුවාය.
අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු හිටපු ජනාධිපති ආර්යාව, ලබන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට එහිදී නියෝග කෙරුණි. මේ වන විට ඇය එම අධිකරණ නියෝගය මත වැලිකඩ බන්ධනාගාරයේ පසුවන්නීය.
