ශ්රී ලංකාවේ පාසල් අධ්යාපනය තුළ අසමසම වාර්තා පිහිටුවමින්, ඉංජිනේරුවරයෙකු, ආයෝජන බැංකුකරුවෙකු සහ අවසානයේ කේම්බ්රිජ් විශ්වවිද්යාලයෙන් බිහි වූ විශිෂ්ට වෛද්යවරයෙකු ලෙස ජීවිතයේ විවිධ පැතිකඩ ස්පර්ශ කළ වෛද්ය උදාර කුලරත්න පසුගියදා ජීවන ගමනින් සමුගත්තේය. එක්සත් රාජධානියේ සේවය කළ 53 හැවිරිදි මෙම විශේෂඥ වෛද්යවරයා, 2026 ඔක්තෝබර් 18 වැනිදා ඔක්ස්ෆර්ඩ් රෝහලකදී හදිසි හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්රාප්ත විය.
'උඩි' යන ආදර නාමයෙන් මිතුරන් අතර ප්රකටව සිටි ඔහු, කොළඹ විශ්වවිද්යාලයේ අධ්යාපන පීඨයේ හිටපු පීඨාධිපති මහාචාර්ය ඩී. එස්. (ඩබ්ලිව්. ජී.) කුලරත්න සහ කොට්ටාව ධර්මපාල විද්යාලයේ විද්යා ගුරුවරියක වූ ලලිතා කුලරත්න යුවළගේ පුත්රයාය. සිය මව ඉගැන්වූ කොට්ටාව ධර්මපාල විද්යාලයෙන් මූලික අධ්යාපනය ලද උදාර, පහ වසර ශිෂ්යත්ව විභාගයෙන් දිවයිනෙන්ම ප්රථමයා බවට පත් විය. පසුව කොළඹ රාජකීය විද්යාලයට ඇතුළත් වූ ඔහු 1991 කණ්ඩායම නියෝජනය කළ අතර, අපොස සාමාන්ය පෙළ විභාගයෙන් දිවයිනේ ප්රථමයා ද, 1991 වසරේ ගණිත අංශයෙන් අපොස උසස් පෙළ විභාගයෙන් දිවයිනේ තෙවැනියා ද වෙමින් රාජකීය විද්යාලයේ කීර්තිමත් 'ඩෝන්හෝස්ට්' ත්යාගයෙන් පිදුම් ලැබීය.
ඔහුගේ වෘත්තීය ගමන් මඟ ආරම්භ වන්නේ වෛද්යවරයෙකු ලෙස නොවේ. ඔස්ට්රේලියාවේ මොනෑෂ් විශ්වවිද්යාලයෙන් විදුලි සංදේශ මෘදුකාංග ඉංජිනේරු විද්යාව පිළිබඳ ප්රථම පන්තියේ ගෞරව උපාධියක් දිනාගන්නා ඔහු, අනතුරුව නෝටෙල් ආයතනයේ අනුග්රහය සහිතව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්යාලයෙන් එම ක්ෂේත්රයෙන්ම පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් සම්පූර්ණ කළේය. සිංගප්පූරුවේ ෆියුජිට්සු සහ නෝටෙල් ආයතනවල ඉංජිනේරුවරයෙකු ලෙස සේවය කිරීමෙන් පසු ඔහු ලන්ඩනයේ ආයෝජන බැංකුකරුවෙකු ලෙස ද කටයුතු කළේය.
ඔහුගේ ජීවිතයේ තීරණාත්මක හැරවුම් ලක්ෂ්යය සටහන් වන්නේ වයස අවුරුදු 30 දීය. සිය පියා මුහුණ දුන් බයිපාස් හෘද සැත්කම සහ විකිරණවේදී උපදේශකවරයෙකු වූ රේ ගොඩ්වින්ගේ ආභාසය මත ඔහු සිය ඉංජිනේරු සහ බැංකු වෘත්තීන්ට සමුදෙමින් 2003 සැප්තැම්බර් මාසයේදී කේම්බ්රිජ් විශ්වවිද්යාලයට ඇතුළත් වන්නේ වෛද්ය විද්යාව හැදෑරීම සඳහාය. 2007 වසරේදී සමස්ත විශිෂ්ටතා සාමාර්ථයක් සහිතව වෛද්ය උපාධිය ලබාගැනීමට ඔහු සමත් විය.
බර්මින්හැම් රෝයල් ඔර්තොපීඩික් රෝහලෙන් සහ නොටින්හැම් පුහුණු වැඩසටහනෙන් රෙජිස්ට්රාර් පුහුණුව ලැබූ ඔහු, පසුව රොබට් ජෝන්ස් සහ ඇග්නස් හන්ට් යන රෝහල්වලින් මාංශ පේශි හා අස්ථි පද්ධතිය ආශ්රිත විකිරණවේදය පිළිබඳ විශේෂඥ පුහුණුවක් ලබා ගත්තේය. 2015 මැයි මාසයේ සිට නෝර්ත් මිඩ්ලන්ඩ්ස් හි විශ්වවිද්යාල රෝහලේ විශේෂඥ වෛද්යවරයෙකු ලෙස සේවය කළ ඔහු, ක්රීඩා ආබාධ, ආතරයිටිස්, අස්ථි සහ මෘදු පටක පිළිකා මෙන්ම අතිධ්වනි, CT, MRI සහ X-ray පරීක්ෂණ ක්ෂේත්රයේ ප්රාමාණිකයෙකු විය. මීට අමතරව රාජකීය විකිරණවේදීන්ගේ විද්යාලයේ වෘත්තීය ප්රායෝගික මණ්ඩලයේ සාමාජිකයෙකු හා පරීක්ෂකවරයෙකු ලෙසද, පෞද්ගලික අංශයේ වෛද්යවරයෙකු ලෙසද ඔහු කටයුතු කළේය.
දශක කිහිපයක් විදෙස්ගතව සිටියද වෛද්ය උදාර කුලරත්න තුළ වූ සිංහල භාෂා ප්රේමය කිසිදා මැකී ගියේ නැත. ඔහු සිය මඟපෙන්වන්නා වූ මහාචාර්ය කාලෝ ෆොන්සේකා සහ ප්රවීණ ගීත රචක බන්දුල නානායක්කාරවසම් යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් 2018-2019 කාලයේදී 'අරුණෝද සීයක්' නමින් සිංහල කාව්ය සංග්රහයක් ද එළිදැක්වීය. 'සත්කුළු මතින්' වැනි නිර්මාණවලට පද රචනයෙන් දායක වූ ඔහු ගායනයට ද උපන් හපනෙකි. සිය කවි, කතා සහ නිර්මාණ ඇතුළත් යූටියුබ් නාලිකාවක් පවත්වාගෙන ගිය වෛද්යවරයා 2020 වසරේදී විභාගවලට මුහුණදෙන දරුවන්ට සහ වැඩිහිටියන්ට මඟපෙන්වීම උදෙසා ග්රන්ථයක් ද රචනා කළේය.
එක්සත් රාජධානියේ ශ්රී ලාංකික වෛද්ය සහ දන්ත වෛද්ය සංගමයේ ක්රියාකාරී සාමාජිකයෙකු වූ ඔහු, වෛද්ය සිසුන්ට ඉගැන්වීම සඳහා නිතර ශ්රී ලංකාවට පැමිණියේය. තමාගේ ජීවිතයට ලැබුණු වටිනාම තිළිණය ලෙස ඔහු හැඳින්වූයේ සිය බිරිඳ වන බිනිෂා ය. නිහතමානී, කරුණාවන්ත, ත්යාගශීලී මෙන්ම විනෝදකාමී චරිතයක් ලෙස මිතුරන් අතර ප්රකටව සිටි මේ අපූරු මිනිසාගේ හදිසි නික්මයාම පිළිබඳව රාජකීය විකිරණවේදීන්ගේ විද්යාලය, ශ්රී ලාංකික වෛද්ය සහ දන්ත වෛද්ය සංගමය සහ එක්සත් රාජධානියේ ආදි රාජකීයයන්ගේ සංගමය සිය බලවත් ශෝකය ප්රකාශ කර තිබේ. ශ්රී ලංකාවේ වෙසෙන ඔහුගේ වයෝවෘද්ධ දෙමාපියන්ටත්, ඔහුට ආදරය කළ සැමටත් මේ බහුශ්රැත මිනිසාගේ හදිසි වියෝව කිසිදා පිරවිය නොහැකි අඩුවක් වනු ඇත. වෛද්ය උදාර කුලරත්න මහතාගේ දේහය බ්රිතාන්යයේ සිට ලංකාවට රැගෙන ආ පසු හෙට (28) බොරැල්ල ජයරත්න රෙස්පෙක්ට් අවමංගල ශාලාවේ තැන්පත් කර අවසන් කටයුතුද හෙට සවසම සිදුකරන්නට නියමිතය.