කොළඹ විහාරමහා දේවී උද්යානය කේන්ද්ර කරගනිමින් භික්ෂූන් වහන්සේලා පිරිසක් ආරම්භ කළ සත්යග්රහයට අදට (21) දින හයක් සපිරී තිබේ. උන්වහන්සේලාගේ ඒකායන ඉල්ලීම වී ඇත්තේ පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙසයි.
මෙම විරෝධතා සත්යග්රහය හදිසියේ ආරම්භ වූවක් නොවේ. මීට පෙර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට රැඳී සිටි මෙම භික්ෂූන් වහන්සේලා පිරිස, අනතුරුව බුද්ධ ශාසන අමාත්යාංශය වෙත වැඩම කළහ. එහිදී අමාත්යාංශ ලේකම්වරයා සමඟ සාකච්ඡාවක නිරත වුවද, ඉන් තමන් අපේක්ෂා කළ විසඳුම නොලැබුණු බව උන්වහන්සේලා ප්රකාශ කළහ. විහාරමහා දේවී උද්යානයේ සත්යග්රහය ආරම්භ වන්නේ එම සාකච්ඡාවෙන් අපේක්ෂිත ප්රතිඵල නොලැබීම හේතුවෙනි.
ඒ අනුව පසුගිය 16 වැනිදා පස්වරුවේ උද්යාන පරිශ්රයේදී මෙම සත්යග්රහය ආරම්භ කෙරිණි. එදින එහි අට්ටාලයක් ඉදිකිරීමට භික්ෂූන් වහන්සේලා උත්සාහ කිරීමත් සමඟ පොලීසිය සහ උන්වහන්සේලා අතර යම් උණුසුම් තත්ත්වයක් ද නිර්මාණය විය.
කෙසේ වෙතත්, දින හයක් පුරා නොකඩවා ක්රියාත්මක වන මෙම සත්යග්රහයේ නිරත භික්ෂූන් වහන්සේලා අවධාරණය කරන්නේ, පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන තුරු කිසිදු හේතුවක් මත තමන් එම ස්ථානයෙන් ඉවත් නොවන බවයි. කූඩාරම් අටවාගෙන එහි ස්වාමීන් වහන්සෙලා වාසය කරන අතර උදෑසන දානය පිරිනැමීමට ගිහි බැතිමතුන් කිහිපදෙනෙකු පැමිණ තිබෙන අයුරු ඡායාරූපවල දැක්වේ.
