අද (17) උදෑසන දිවයින පුරා සිදුවූ හදිසි විදුලි බිඳවැටීමත් සමඟ මුළු රටම අඳුරේ ගිලෙද්දී, මේ වන විටත් විදුලි සැපයුම කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමේ මෙහෙයුම් ආරම්භ කර තිබේ. විදුලිබල පද්ධතියේ හදිසියේ ඇතිවූ මෙම අසමතුලිතතාවයට නිශ්චිත හේතුවක් මෙතෙක් නිල වශයෙන් අනාවරණය වී නොමැති අතර, බලශක්ති අමාත්ය අනුර කරුණාතිලක මහතා පවසන්නේ කොටස් වශයෙන් විදුලිය යළි ලබාදීමේ කටයුතු මේ වන විටත් ක්රියාත්මක වෙමින් පවතින බවයි.
මෙම හදිසි තත්ත්වය නිර්මාණය වීමට බලපෑ ප්රධාන හේතුව සෙවීම සඳහා මේ වන විටත් පරීක්ෂණ ක්රියාත්මක වේ. විශේෂයෙන්ම ඊයේ (16) දිනයේ කොත්මලේ විදුලි උත්පාදනාගාරයක ඇතිවූ දෝෂයක් හේතුවෙන් එහි ක්රියාකාරීත්වය බිඳ වැටුණු අතර, එම තත්ත්වය අද උදෑසන සිදුවූ ජාතික පද්ධතියේ සමතුලිතතාවය බිඳවැටීමට හේතු වූවාද යන්න පිළිබඳව බලධාරීන්ගේ විශේෂ අවධානය මේ වන විට යොමු වී ඇත.
මේ අතර, ජාතික විදුලිබල පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමේ ක්රියාවලියට සහාය වීමක් ලෙස වහල මත සූර්ය පැනල භාවිත කරන සියලුම පාරිභෝගිකයන්ගෙන් අමාත්යවරයා විශේෂ ඉල්ලීමක් කර තිබේ. ඒ, පද්ධතිය ඉක්මනින් යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා මේ මොහොතේ සිය සූර්ය පැනල පද්ධති විසන්ධි කර තබන ලෙසයි.
සිද්ධියට හේතුව සෙවීමට වඩා සමස්ත දිවයිනටම යළි විදුලිය ලබාදීම කෙරෙහි මේ මොහොතේ මූලික අවධානය යොමු කර ඇති බව අමාත්යවරයා අවධාරණය කරයි. එම කඩිනම් ක්රියාවලිය යටතේ දැනටමත් එක් කොටසක විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට බලධාරීන්ට හැකි වී තිබේ. ඒ අනුව, ඉදිරි කාලය තුළ කොටස් වශයෙන් මුළු දිවයිනටම ඉතා ඉක්මනින් යළි විදුලිය ලබාදීමට හැකිවනු ඇතැයි බලශක්ති අමාත්යවරයා වැඩිදුරටත් විශ්වාසය පළ කරයි.
