පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරුවෙකු ලෙස නම් කර සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා රෝහලෙන් මුදා හැරිය හැකි බවට වෛද්‍ය මණ්ඩලය විසින් නිර්දේශ කර ඇති බව නීතිපතිවරයා අද (06) අධිකරණයට දැනුම් දුන්නේය. ඒ අනුව, කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සැකකාර හිටපු බුද්ධි ප්‍රධානියාව අද පස්වරුවේදී යළිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගැනීමට නියමිතව තිබේ.
ඔහුව රෝහලෙන් මුදා හැරීමට ඉඩ නොදී ඔහුට දතේ අමාරුවක් නොව හෘද සැත්කමක් අවශ්‍ය බවට කරුණු කියමින් ඊට අදාළව මතභේදයට තුඩු දුන් වෛද්‍ය වාර්තා නිකුත් කළ වෛද්‍යවරුන් දස දෙනෙකුට සහ කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටීමට දන්වා තිබුණි. ඒ අනුව එම වෛද්‍ය තීරණ වෙනස් වී ඇත.
පසුගිය පෙබරවාරි මස 25 වනදා සිට සුරේෂ් සලේ මහතා මෙලෙස රෝහල්ගතව සිටීම හේතුවෙන් ඔහුට එරෙහිව ක්‍රියාත්මක වූ අපරාධ පරීක්ෂණ කටයුතු සම්පූර්ණයෙන්ම ඇණහිට තිබුණි. ඒ හේතුවෙන් ඔහුව තවදුරටත් රඳවා තබා ගැනීම සඳහා ජනාධිපතිවරයාට අදාළ නියෝග පවා නිකුත් කිරීමට සිදුවූ බව වාර්තා වේ. කෙසේ වෙතත්, මෙම තත්ත්වය හමුවේ විපක්ෂය විසින් දිගින් දිගටම උත්සාහ කර තිබුණේ සැකකරුගෙන් කටඋත්තරයක් ලබාගැනීම මඟහැර ඔහුව යළිත් සිරභාරයෙන් නිදහස් කර ගැනීමටය.

