siriliya-saviya-investigation-after-shiranthi-rajapaksa-former-chief-justices-husband-pradeep-kariyawasam-also-arrested

හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ ස්වාමිපුරුෂයා සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.




ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය සම්බන්ධ 'සිරිලිය සවිය' ගිණුම සහ එම සංවිධානයේ මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව අල්ලස් කොමිසම විසින් පවත්වාගෙන යනු ලබන පුළුල් විමර්ශනයකට අදාළවය.

මෙම විමර්ශනයට අදාළව ශිරන්ති රාජපක්ෂ මහත්මිය ද අද (07) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබූ පසුබිමක කාරියවසම් මහතා අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.




ශිරන්ති රාජපක්ෂ මහත්මිය අත්අඩංගුවට ගනු ලැබුවේ කිරුළපන, පූර්වාරාම පාරේ පිහිටි ඇයගේ නිවසේදීය. පැය දෙකකට ආසන්න කාලයක් ඇයගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඇය අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම ප්‍රකාශ කළේය.

හිටපු ජනාධිපති ආර්යාව සම්බන්ධයෙන් සිදුකෙරෙන මෙම විමර්ශනය සම්බන්ධයෙන් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපතිවරයකු වූ කාරියවසම් මහතා ද අත්අඩංගුවට ගැනීම, පරීක්ෂණය තවදුරටත් පුළුල් වෙමින් පවතින බවට ඉඟියක් ලෙස සැලකේ. කෙසේ වෙතත්, ඔහු අත්අඩංගුවට ගැනීමට හේතු වූ නිශ්චිත කරුණු පිළිබඳ වැඩිදුර තොරතුරු තවමත් වාර්තා වී නොමැත.



'සිරිලිය සවිය' ගිණුමට අදාළ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුර පරීක්ෂණ සිදු කරමින් සිටී.