
අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට පත් කොළඹ මහනගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම, කිසිදු දිනක තම පක්ෂයේ සාමාජිකයෙකු වී නොසිටි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි. ඔහු ඉදිරිපත් වූ බව කියන නව සමසමාජ පක්ෂයේ නායක වාසුදේව නානායක්කාර මහතා ද, කහඳගමට තම පක්ෂය සමඟ කිසිදු වත්මන් සබඳතාවක් නොමැති බව අවධාරණය කරයි.
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අද (06) කහඳගම අත්අඩංගුවට ගනු ලැබුවේ, ඔහු අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන බවට ලැබුණු තොරතුරක් මත සිදුකළ විමර්ශනයකින් අනතුරුවය. මිරිහාන ප්‍රදේශයේ අවන්හලක් අසලදී ඔහු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. සැකකරු ලබන 12 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය මේ වන විට අවසර ලබා දී තිබේ. ඔහු සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ ඉතා සමීප සබඳතා පවත්වා ඇති බවට තොරතුරු රැසක් අනාවරණය වී ඇති බවද වාර්තා වේ.
අත්අඩංගුවට පත් වූ පසු මාධ්‍ය වාර්තා බොහොමයක ඔහු හඳුන්වා දුන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු නාගරික මන්ත්‍රීවරයෙකු ලෙසය. එම ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින් අද (06) මාධ්‍ය වෙත අදහස් දැක්වූ පොදුජන පෙරමුණේ මහ ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පෙන්වා දුන්නේ පසුගිය මැතිවරණවලදී පොදුජන පෙරමුණ වාමාංශික දේශපාලන පක්ෂ සමඟ සන්ධානගත වූ බවත්, එහිදී කහඳගම මැතිවරණයට ඉදිරිපත් වූයේ වාසුදේව නානායක්කාර මහතාගේ නව සමසමාජ පක්ෂයේ සාමාජිකයෙකු ලෙස බවත්ය. නව සමසමාජ පක්ෂය කළ ඉල්ලීමකට අනුව ඔහුට නාමයෝජනා ලබා දුන් බවද ඔහු කීය.
"කහදගම කියන පුද්ගලයා කවදාවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෙක් නෙවෙයි. හැබැයි අපි පහුගිය පළාත් පාලන ඡන්ද විමසීමේදී, ඊට කලින් ඡන්ද විමසීමේදීත් වමේ දේශපාලන පක්ෂ සමඟ සන්ධානයකට එකතු වුණා. ඒ අවස්ථාවෙදි වාසුදේව නානායක්කාර මහතාගේ නව සම සමාජ පක්ෂයේ සාමාජිකයෙක් හැටියට තමයි ඔහු ඉදිරිපත් වුණේ. නව සම සමාජ පක්ෂයේ ඉල්ලීමක් මත තමයි ඒ නාමයෝජනා ලබා දීම සිදු කලේ. ඒ අනුව මහින්ද කහදගම කියන පුද්ගලයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුද්ගලයෙක් කියන කාරණය අපි දැඩිව ප්‍රතික්ෂේප කරනවා," සාගර කාරියවසම් මහතා පැවසීය.
කෙසේ වෙතත්, පොදුජන පෙරමුණේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් කළ විමසීමකදී වාසුදේව නානායක්කාර මහතා පෙන්වා දුන්නේ වෙනස් චිත්‍රයකි. කහඳගම තම පක්ෂය සමඟ සම්බන්ධව සිටියේ නව සමසමාජ පක්ෂය පොදුජන පෙරමුණ සමඟ සන්ධානගතව සිටි සමයේ පමණක් බවත්, එම සන්ධානයෙන් තම පාර්ශ්වය ඉවත් වූ පසු කහඳගම තවදුරටත් නියෝජනය කළේ පොදුජන පෙරමුණ බවත් ඔහු කීය.
2022 වසරේ ගාලු මුවදොර අරගලයේදී එහි ක්‍රියාකාරිකයින්ට පහර දීමට ගිය පොදුජන පෙරමුණේ පිරිස් සමඟද කහඳගම එක්ව සිටි බව වාසුදේව නානායක්කාර මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. 2022 මැයි 9 වනදා සිදුවූ එම සිදුවීමේදී විරෝධතාකරුවන්ගේ පහරකෑමට ලක්වීමෙන් පසු කහඳගම රට පුරා කතාබහට ලක් වූ චරිතයක් බවට පත්විය. ඒ වන විට ඔහු මහින්ද රාජපක්ෂ මහතාගේ දිගුකාලීන ආධාරකරුවෙකු ලෙසද හඳුනාගෙන සිටියේය.
මේ අතර 2024 වසරේ ජූලි මාසයේදී කහඳගම සිරිකොතට ගොස් එක්සත් ජාතික පක්ෂයට එක්වී, එවකට ජනාධිපතිවරයා වූ රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කළේය. එහිදී ඔහුට එජාපයේ මැද කොළඹ මැතිවරණ කොට්ඨාශයේ කලාප සංවිධායක ධුරයක්ද ලබා දුන්නේය. ඔහු තවමත් එජාප සාමාජිකයෙකු ලෙස සිටින්නේද යන්න පිළිබඳව මේ වන විට ස්වාධීනව තහවුරු වී නොමැත.

