gnanasara-thero-arrives-in-court-in-lay-attire-robe-clash-between-the-sangha-the-opposition-and-the-government

සිර දඬුවම් නියම වී සිටින බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් චීවරයෙන් තොරව, සුදු පැහැති අත් දිග කමිසයකින් සහ සුදු සරමකින් සැරසී අද (06) කොළඹ මහාධිකරණය හමුවට රැගෙන ඒම දවසේ වැඩිපුරම කතාබහට ලක් වූ පුවත බවට පත් විය.




අධිකරණයට අපහාස කිරීමේ වරද සම්බන්ධයෙන් පෙර නියම වී තිබූ වසර හයක සිර දඬුවම යළි ක්‍රියාත්මක කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කිරීමෙන් අනතුරුව ඊයේ (05) ඒ හිමියන් බන්ධනාගාරගත කෙරිණි. හිමියන්ගේ චීවරය ඉවත් කර සාමාන්‍ය බන්ධනාගාර වාට්ටුවකට යොමු කළ බව බන්ධනාගාර ප්‍රධානියා ඊයේ සඳහන් කර තිබිණි.

අද ඒ හිමියන් අධිකරණයට ඉදිරිපත් කෙරුණේ ඉස්ලාම් දහමට අපහාස කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් පවරා ඇති වෙනත් නඩුවක් සඳහාය. මුස්ලිම්වරුන්ගේ ශුද්ධ කුරානය සම්බන්ධයෙන් කළ බව කියන ප්‍රකාශයක් මත මෙම නඩුව ගොනු කර ඇත. සැප්තැම්බර් 30 වැනිදා නඩුව කැඳවූ අවස්ථාවේ ඥානසාර හිමියන් අධිකරණයේ පෙනී නොසිටි බැවින් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය වරෙන්තුවක් නිකුත් කළ අතර, ඉන් පසු මෙම නඩුවට අදාළව ඒ හිමියන් අධිකරණයට ඉදිරිපත් කෙරුණු පළමු අවස්ථාව අද විය. කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල මහතා නඩුව ඔක්තෝබර් 23 වැනිදා යළි කැඳවීමට නියම කළේය.




ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සංජය මාරඹේ මහතා චීවරය ඉවත් කිරීමට විරෝධය පළ කරමින්, බෞද්ධ භික්ෂුවකගේ චීවරය ඉවත් කිරීමේ බලයක් බන්ධනාගාර බලධාරීන්ට නොමැති බවට කරුණු ඉදිරිපත් කළ බව වාර්තා වේ. ඒ සම්බන්ධයෙන් ඉහළ අධිකරණයක් වෙත යොමු වීමට විත්තියට අවස්ථාව ඇති බව විනිසුරුවරයා එහිදී සඳහන් කර තිබේ.

දැඩි ආරක්ෂාව මැද නැවත බන්ධනාගාර බස් රථය වෙත රැගෙන යන අතරතුර මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් ඥානසාර හිමියෝ, තමන් මීට පෙර හතර පස් වතාවක් සිරගත වුවද කිසිදු ආණ්ඩුවක් තම සිවුර ඉවත් නොකළ බවත්, මෙවර එය සිදුවූ බවත් පැවසූහ. සිවුර ඉවත් කළේ කැමැත්තෙන්දැයි විමසූ විට ඒ හිමියන් පැවසුවේ එය රජයේ නියෝග මත සිදු වූවක් බවයි.

"කිසිම ආණ්ඩුවක් මගේ සිවුර ගැලෙව්වේ නෑනේ. සිවුර ගැලෙව්වත්, මෙහෙම හිටියත් ඥානසාර හාමුදුරුවෝ, ඥානසාර හාමුදුරුවෝ තමයි" යනුවෙන් කීහ.

සිරගතව සිටියදී සහ අධිකරණයට පැමිණීමේදී චීවරය දැරීමට අවසර තිබිය යුතුද යන්න තීරණය කළ යුත්තේ මහා සංඝ සභාව බව පෙන්වා දුන් ඒ හිමියන්, රට වෙනුවෙන් කළ කැපකිරීම් නිසා මෙවැනි තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වූ බවත්, සිදුවන ඕනෑම දෙයක් භාරගැනීමට තමන් සූදානම් බවත් වැඩිදුරටත් සඳහන් කළහ.

කෙසේ වෙතත්, "කිසිම ආණ්ඩුවක් මීට පෙර සිවුර නොගැලවූ" බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ විවාදයක් මතුව තිබේ. ඊට හේතුව, 2018 වසරේදී ඒ හිමියන් සිර දඬුවම් විඳි සමයේද සාමාන්‍ය සිරකරුවන් අඳින ජම්පරය පැළඳ සිටි බව එවකට මාධ්‍ය වාර්තාවල සඳහන් වීමයි.

2018 ජුනි 20 වැනිදා එවකට අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය ප්‍රකාශ කර තිබුණේ, අධිකරණයකින් වරදකරු කර සිරදඬුවම් නියම වූ ඕනෑම අයෙකු බන්ධනාගාර ආඥා පනත යටතේ නියමිත ජම්පරය පැළඳිය යුතු බවයි. එමෙන්ම 2018 අගෝස්තුවේ ඒ හිමියන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී "ලයිට් ජම්පරය" හෙවත් "ලිබර්ටි ඩ්‍රෙස්" ලෙස හඳුන්වන ඇඳුම ලබා දී තිබිණි.

එවකට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය බීබීසී සිංහල සේවයට පවසා තිබුණේ, ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කර ඒ හිමියන් සිරකරු ඇඳුමෙන් බන්ධනාගාරයේ කාලය ගත කරන බවයි. සිවුර ඉවත් කළහොත් උපවාසයක නිරත වන බවට පළ වූ වාර්තා අසත්‍ය බවත්, කිසිදු විරෝධයකින් තොරව ඒ හිමියන් සිවුර ඉවත් කළ බවත් ඔහු එවර සඳහන් කර තිබිණි.

ඒ අතරම 2018 ජුනි 19 වැනිදා වන විට ජම්පරය අඳිමින් බන්ධනාගාරගතව සිටි භික්ෂූන් වහන්සේලා 15 නමක් සහ වෙනත් ආගමික පූජකවරුන් තිදෙනෙකු සිටි බවත්, ඥානසාර හිමියන්ද ඒ අතර වූ බවත් එවකට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා පවසා තිබිණි. එය නීතිය යටතේ වරදක් නොවන බවද ඔහු එදා අවධාරණය කළේය. මෙම පසුබිම තුළ ඥානසාර හිමියන්ගේ අද ප්‍රකාශය දේශපාලන අරමුණු සහිතව කළ එකක් බවට ද ඇතැම් පාර්ශ්ව චෝදනා එල්ල කරයි.



මේ සම්බන්ධයෙන් අද (06) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රශ්න කළ විට, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ ඥානසාර හිමියන්ට කිසිදු විශේෂ සැලකීමක් හෝ වෙනස්කමක් කර නොමැති බවත්, බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත්තේ බන්ධනාගාර ආඥා පනතට අනුව බවත්ය.

"මේ සිදුවීමේදී විශේෂයක් කරලා නැහැ. දැනටමත් බන්ධනාගාරගත වෙලා දඬුවම් ලබමින් ඉන්න හාමුදුරුවන් වහන්සේලා 63 දෙනෙකුට කටයුතු කරලා තියෙන ආකාරයටම තමයි ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවන්ටත් කටයුතු කරලා තියෙන්නේ. මේක මේ හාමුදුරුවන්ට විතරක් කරපු වැඩක් නෙමෙයි" යනුවෙන් අමාත්‍යවරයා කීය.

කෙසේ වෙතත් චීවරය ඉවත් කිරීම සම්බන්ධයෙන් ආගමික මට්ටමින් ද විරෝධතා මතුව තිබේ. කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක සහ ප්‍රධාන ලේඛකාධිකාරී පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමු කරමින්, ඥානසාර හිමියන්ට බන්ධනාගාරය තුළදීත් බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යන සෑම අවස්ථාවකදීත් චීවරයෙන් පෙනී සිටීමට අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලා සිටියහ.

භික්ෂුවකට සිවුර පෙරවීම හා සිවුර ඉවත් කිරීම පිළිබඳ පූර්ණ අයිතිය ඇත්තේ එම භික්ෂුවට සහ උන්වහන්සේ අයත් මහා සංඝ සභාවට බවත්, එය අදාළ නිකායේ මහානායක හිමියන්ගේ අනුමැතියෙන්ම සිදුවිය යුතු ශාසනික කටයුත්තක් බවත් එම ලිපියේ දැක්වේ. ඥානසාර හිමියන් විනය පිටකයට අනුව පාරාජිකා වූ බවට හෝ සිවුර ඉවත් කිරීමට තරම් බරපතළ හේතුවක් තම සංඝ සභාවට වාර්තා වී නොමැති බවද, මෙම සම්ප්‍රදාය නොසලකා හැරීම ශාසනයට වැරදි පූර්වාදර්ශයක් වන බවද රාහුල හිමියන් පෙන්වා දී ඇත. අධිකරණ තීන්දුවට තමන් විරුද්ධ නොවන බවත්, අධිකරණයේ උත්තරීතරභාවය පිළිගන්නා බවත් අවධාරණය කර ඇති එම ලිපියේ පිටපත් ජනාධිපතිවරයා සහ බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා වෙත ද යොමු කර තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කළේය. අධිකරණය ක්‍රියා කරන්නේ නීතිමය රාමුව තුළ වුවද, ආණ්ඩුවක් කටයුතු කළ යුත්තේ සමාජ සම්ප්‍රදායන්, සම්මුතීන් සහ සංස්කෘතික අනන්‍යතාවන් පිළිබඳ සංවේදීව බව ඔහු පවසයි.

ඥානසාර හිමියන්ට ඒ හිමියන් එකඟතාවයකින් තොරව ගිහි ඇඳුම් අන්දවා අධිකරණයට රැගෙන ආ බව මාධ්‍ය හරහා දුටු බවත්, භික්ෂුවක් හෝ වෙනත් ආගමික නායකයෙකු අදාළ ආගමික ආයතනයේ දැනුවත්භාවයෙන් හෝ ඔහුගේ කැමැත්තෙන් තොරව ගිහි ඇඳුමින් රැගෙන ඒම නුසුදුසු බවත් එම නිවේදනයේ සඳහන් වේ. එබැවින් මෙවැනි සංවේදී කටයුතුවලදී ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගේ දැනුවත්භාවයෙන් සහ අනුමැතියෙන් ක්‍රියා කළ යුතු බව ආණ්ඩුවට අවධාරණය කරන බවද විපක්ෂ නායකවරයා කියයි.

මේ අතර, සිර දඬුවම් ලබන ආගමික පූජකවරුන්ගේ ආගමික ඇඳුම් සම්බන්ධ නීතිය පැහැදිලි කළ බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලේතැන්න මහතා පවසා ඇත්තේ, වසර දෙකකට අඩු, බරපතළ වැඩ රහිත සුළු සිර දඬුවමක් නියම වූ විට පමණක් ආගමික ඇඳුමින් සිටීමට අවස්ථාව ලැබෙන බවයි. ඊට වැඩි දඬුවම් නියම වූ විට ආගමික ඇඳුම ඇඳීමට ඉඩ නොමැති අතර, එලෙස ආගමික ඇඳුම ඉවත් කළ පූජකයන් මේ වන විටත් රටේ බන්ධනාගාරවල සිටින බවත්, ඔවුන් බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යන්නේ "නිදහස් සිර ඇඳුම" ලෙස හඳුන්වන ඇඳුමින් බවත් ඔහු පැවසීය.

බන්ධනාගාර නීතිරීති අනුව රිමාන්ඩ් රැඳවියන්ට තමන් කැමති සරල ඇඳුමකින් සිටිය හැකි වුවද, දඬුවම් ලබන සිරකරුවන්ගේ ඇඳුම වෙනස් වේ. සාමාන්‍ය සිර දඬුවම් ලබන පිරිමි සිරකරුවන් ජම්පරය ලෙස හඳුන්වන සුදු කොට කලිසම සහ අත් කොට කමිසය ඇඳිය යුතු අතර, මරණ දඬුවම නියම වූ සිරකරුවන්ට කොටු සරමක් සහ අත් කොට කමිසයක් හිමි වේ. කාන්තා සිරකාරියන්ට සුදු චීත්තයක් හෝ මෝස්තර රහිත සුදු ගවුමක් සමඟ බොත්තම් රහිත සුදු අත් කොට හැට්ටයක් නියම කර ඇති අතර, මරණ දඬුවම් ලත් කාන්තාවන්ට කොටු සහිත චීත්තයක් හෝ ගවුමක් හිමි වේ. අභියාචනා විභාග වෙමින් පවතින සිරකරුවන්ගේ ඇඳුමෙහි "P.A." (Pending Appeal) ලෙස සටහන් කර ඇත.

ඒ අනුව ඥානසාර හිමියන් නීතිය අනුව මෙම ඇඳුමට හිමිකම් කියන බව පැහැදිලි කර තිබෙන අතර ඊට ආණ්ඩුව මැදිහත්වී කිසිවක් කර ඇති බවට සාක්ෂි හමු නොවේ.

gnanasara-thero-arrives-in-court-in-lay-attire-robe-clash-between-the-sangha-the-opposition-and-the-government

gossiplanka image