සිරදඬුවම් විඳින පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා කොළඹ විහාරමහාදේවී උද්යානයේ පැවති සත්යග්රහයක් අතරතුරදී, ජනතාව නොමඟ යවන සුළු අසත්ය හා ප්රකෝපකාරී ප්රකාශයක් මාධ්ය වෙත සිදු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පූජ්ය බලංගොඩ කස්සප හිමියන්ට එරෙහිව කුරුඳුවත්ත පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
පැලවත්ත ජාතික ජන බලවේග කාර්යාලයේ සංවිධායක ජගත් බස්නායක මහතා විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ක්රියාත්මක බව විමර්ශන නිලධාරීන් විසින් කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ (26) කරුණු වාර්තා කර ඇත.
පසුගිය 22 වැනිදා කස්සප හිමියන් විසින් මාධ්ය වෙත අදාළ මතභේදාත්මක ප්රකාශය සිදු කර තිබිණි. සත්යග්රහය පැවති ස්ථානයට පිහි දෙකක් රැගෙන පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු, පැලවත්ත ජාතික ජන බලවේග කාර්යාලය විසින් එවන ලද පිරිසක් බවට උන්වහන්සේ එහිදී චෝදනා කර තිබුණි. එහෙත් එම ප්රකාශය සම්පූර්ණයෙන්ම අසත්ය, වැරදිසහගත සහ මහජන විශ්වාසය කඩ කරන සුළු එකක් බව ජාතික ජන බලවේගය සිය පැමිණිල්ල මගින් පෙන්වා දී තිබේ.
මෙලෙස අසත්ය ප්රකාශ සමාජගත කිරීම පොලිස් ආඥා පනතේ 98 වැනි වගන්තිය උල්ලංඝනය කිරීමක් වන බැවින් ඒ පිළිබඳව පුළුල් විමර්ශනයක් අරඹා ඇති බව කුරුඳුවත්ත පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්රධාන මහේස්ත්රාත්වරයා, කස්සප හිමියන් සිදු කළ අදාළ ප්රකාශයට අයත් සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන පොලිසිය වෙත ලබා දෙන ලෙස පෞද්ගලික මාධ්ය ආයතනයකට නියෝග කළේය. එසේම මෙම විමර්ශනයේ ප්රගතිය කඩිනමින් අධිකරණයට වාර්තා කරන ලෙසද මහේස්ත්රාත්වරයා පොලිසියට වැඩිදුරටත් නියෝග කර ඇත.