බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ වර්ධනය වී ඇති "අර්නාබ්" (Arnab) සුළි කුණාටුව සහ දිවයිනට බලපා ඇති ගැඹුරු පීඩන අවපාතය හේතුවෙන් ශ්රී ලංකාවේ මුහුදු ප්රදේශ සහ ගොඩබිම දැඩි අවදානම් තත්ත්වයකට මුහුණ දී සිටී. මේ තත්ත්වය මත කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් ධීවර සහ නාවික ප්රජාවට මෙන්ම මහජනතාවට ද රතු අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇත.
2026 ඔක්තෝබර් 26 වන දින පස්වරු 2.30 වන විට අර්නාබ් සුළි කුණාටුව කන්කසන්තුරයේ සිට කිලෝමීටර් 1050ක් පමණ ඊශාන දෙසින් කේන්ද්රගතව පැවතුණි. එය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් බටහිර-මධ්යම බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේදී චණ්ඩ සුළි කුණාටුවක් බවටත්, අනතුරුව ඔක්තෝබර් 27 වන දින ඉතා චණ්ඩ සුළි කුණාටුවක් බවටත් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම පද්ධතිය ඔක්තෝබර් 28 වන දින පෙරවරු 11.30 ට පමණ ඉන්දියාවේ ආන්ද්රා ප්රදේශය හරහා ගොඩබිමට ඇතුළු වනු ඇතැයි පුරෝකථනය කර ඇත.
මෙම තත්ත්වය හමුවේ උතුරු අක්ෂාංශ 10 ත් 20 ත් සහ නැගෙනහිර දේශාංශ 80 ත් 95 ත් අතර මුහුදු ප්රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 80-100 දක්වා ඉහළ යා හැකි අතර, මුහුදු රළ මීටර් 3.0 ත් 4.0 ත් දක්වා ඉහළ යමින් එම කලාප ඉතා රළු විය හැකි බවට අනතුරු අඟවා තිබේ. කොළඹ සිට ගාල්ල, මාතර, හම්බන්තොට, පොතුවිල්, මඩකලපුව හරහා මුලතිව් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්රදේශවල ද සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60-65 දක්වා ඉහළ යා හැකි බැවින් එම ප්රදේශ ද විටින් විට ඉතා රළු වනු ඇත. මේ හේතුවෙන් අදාළ මුහුදු ප්රදේශවලට යාත්රා නොකරන ලෙස ධීවර ප්රජාවට දැඩි ලෙස උපදෙස් දී ඇත.
මේ අතර, බෙංගාල බොක්කේ පැවති පීඩන අවපාතය ගැඹුරු අවපීඩනයක් දක්වා වර්ධනය වීම හේතුවෙන් ඉදිරි දින කිහිපයේදීත් දිවයින තුළ පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කෙරේ. ඒ අනුව උතුරු, බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්යම සහ දකුණු පළාත්වලට මෙන්ම අනුරාධපුර දිස්ත්රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවට පුරෝකථනය කර ඇත.
ඔක්තෝබර් 25 පෙරවරු 8.30 සිට 26 වන දින අලුයම 3.00 දක්වා කාලය තුළ වැඩිම වර්ෂාපතනය වන මිලිමීටර් 163 ක අගය කිලිනොච්චියේ පුනරින් ප්රදේශයෙන් වාර්තා වී තිබේ. මීට අමතරව මන්නාරමේ ඉලුප්පෙයික්කඩවයි ප්රදේශයෙන් මිලිමීටර් 148 ක් ද, යාපනයේ තෝල්පුරම් ප්රදේශයෙන් මිලිමීටර් 110 ක් ද වශයෙන් සැලකිය යුතු වර්ෂාපතනයන් වාර්තා වී ඇති අතර, මෙම කාලගුණික තත්ත්වයන් පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස බලධාරීන් ඉල්ලා සිටී.


