ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ අතරමංව ඇති ඉරාන නෞකා සම්බන්ධයෙන් ඇමෙරිකානු පාර්ශ්වයේ සැලකිල්ලක් යොමු වී ඇත්දැයි කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින්, කොළඹ පිහිටි ඇමෙරිකානු තනාපති කාර්යාලය ප්‍රකාශ කර ඇත්තේ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ පෞද්ගලික සංවාදවල අන්තර්ගතය පිළිබඳව අදහස් දැක්විය නොහැකි බවයි. කෙසේ වෙතත්, නීති විරෝධී ඉරාන ආදායම් මාර්ග වැළැක්වීම සඳහා සිය මිත්‍ර පාර්ශ්වයන් සහ හවුල්කරුවන් සමඟ එක්ව කටයුතු කරන බවත්, ඉරාන පාලන තන්ත්‍රය සමඟ ගනුදෙනු කිරීමේදී පවතින අවදානම පිළිබඳව ගෝලීය වශයෙන් දැනුවත් කිරීමට පියවර ගනිමින් සිටින බවත් එම තනාපති කාර්යාලය සඳහන් කර ඇත.
ඇමෙරිකානු සම්බාධකවලට ලක්ව ඇති නෞකා පිළිබඳ තොරතුරු ඇමෙරිකානු මුදල් දෙපාර්තමේන්තුවේ විදේශ වත්කම් පාලන කාර්යාලය (OFAC) හරහා ප්‍රසිද්ධියේ ලබාගත හැකි බව තනාපති කාර්යාල ප්‍රකාශකයෙකු පවසා තිබේ. යම් හෙයකින් මෙම නෞකාවලට කිසියම් සහනයක් හෝ පහසුකමක් සැලසීමේදී මතුවන සම්බාධක අවදානම පිළිබඳව අදහස් දක්වමින්, සම්බාධක පනවා ඇති නෞකාවලට ඉන්ධන, ආහාර හෝ වෙනත් සැපයුම් සපයන පුද්ගලයින්ට සහ ආයතනවලට එරෙහිව සිවිල් හෝ අපරාධමය නීතිමය පියවර මෙන්ම ඇමෙරිකානු සම්බාධකවලට යටත් වීමට සිදුවන බවට අදාළ නිවේදන මඟින් අලුතින් මතක් කර දී ඇත.
මේ අතර, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මෙම ඇමෙරිකානු ද්විතීයික සම්බාධක කිසියම් විශේෂිත රටක් හෝ ශ්‍රී ලංකාව පමණක් ඉලක්ක කරගෙන පනවන ලද්දක් නොව, ගෝලීය වශයෙන් ක්‍රියාත්මක වන පොදු ප්‍රතිපත්තියක් බවයි. පසුගිය අගෝස්තු 24 වන දින ප්‍රකාශයට පත් කරන ලද මෙම සම්බාධක නීතිවලට අනුව, ඇමෙරිකානු සම්බාධකවලට ලක්වූ නෞකාවලට සේවා සපයන ඕනෑම පුද්ගලයෙකුට හෝ ආයතනයකට ඇමෙරිකානු මූල්‍ය පද්ධතිය භාවිතා කිරීමේ හැකියාව අහිමි වීමේ අවදානමක් පවතී. වත්මන් ගැටුම්කාරී වාතාවරණය හමුවේ මෙවැනි නෞකා ඉන්දියන් සාගරයේ පමණක් නොව අනෙකුත් සාගර කලාපවලද සැරිසරන බවත්, මෙම ඇමෙරිකානු ද්විතීයික සම්බාධක ලොව පුරා සෑම රටකටම එක හා සමානව බලපාන බවත් විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා වැඩිදුරටත් පෙන්වා දී ඇත.

