
හබරාදුව, පිටිදුව ප්‍රදේශයේ නිවසක තනිවම ජීවත් වූ අවිවාහක විශ්‍රාමික ගුරු සහෝදරියන් දෙදෙනකු ඝාතනය කර ඇති බව හබරාදුව පොලිසිය පවසයි. ගලකින් පහරදී ඝාතනය කළ බවට සැක කෙරෙන ඔවුන්ගේ සිරුරු නිවස පිටුපසින් හමු විය.
ඝාතනයට ලක්ව ඇත්තේ පිටිදුව පදිංචි 87 හැවිරිදි විජයානන්ද සේනානායක ජානකි සහ 81 හැවිරිදි විජයානන්ද සේනානායක නිමලා යන සොයුරියන් දෙදෙනාය. වැඩිමහල් සහෝදරිය ගාල්ල අධ්‍යාපන කලාපයේ ගුරු උපදේශිකාවක ලෙස සේවය කර විශ්‍රාම ගොස් ඇති අතර, නැගණිය ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ ගුරුවරියක ලෙස සේවය කර විශ්‍රාම ගොස් තිබේ.
මෙම පවුලේ සිටි සහෝදරයකු සහ සහෝදරියක මීට කලකට පෙර මියගොස් ඇති අතර, ඉන් පසු මෙම සොයුරියන් දෙදෙනා පමණක් නිවසේ වාසය කර ඇත. ඔවුන් විශාල වශයෙන් මුදල් හා දේපළ හිමිව සිටි බවත්, ගමේ කිසිවකු සමග සබඳතා නොපැවැත්වූ බවත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
ඝාතන සිදුව ඇත්තේ මෙම මස 07 වැනිදා රාත්‍රියේ බව පොලිසිය පවසයි. ගසක් කැපීම සඳහා නිවසට පැමිණි පුද්ගලයකු නිවස පිටුපස සිරුරු දෙක දැක අසල්වැසියන්ට දැනුම් දීමෙන් අනතුරුව, ඔවුන් මගින් පොලිසියට තොරතුරු ලැබී ඇත. කළු ගලකින් පහරදී මෙම ඝාතන සිදු කර ඇති බවට පොලිසිය සැක කරයි.
රන්භාණ්ඩ, මුදල් ඇතුළු දේපළ කොල්ලකෑමේ අරමුණින් කිසියම් පිරිසක් මෙම ඝාතන සිදු කරන්නට ඇති බවට පොලිසිය සැක කරයි. කෙසේ වෙතත්, රාත්‍රියේ නිවසට පැමිණි කණ්ඩායමක් කොල්ලකෑමේ අරමුණින් ඝාතන සිදු කළාද, නැතහොත් අලුයම් කාලයේ සොයුරියන් දෙදෙනා දිවුල් අහුලා ගැනීමට නිවසින් පිටතට ගිය අවස්ථාවේදී ඔවුන්ට පහර දුන්නාද යන්න පිළිබඳව ද පරීක්ෂණ පැවැත්වෙන බව පොලිසිය සඳහන් කරයි.
මීට මාසයකට පමණ පෙර දිනක රාත්‍රී කාලයේ මෙම නිවසට ඇතුළු වූ අයකු ජංගම දුරකථනයක් සොරකම් කරගෙන ගොස් ඇති බව ද පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. නිමලා සේනානායක නිවසේ සීසීටීවී කැමරා සවි කිරීමට ද පියවර ගෙන තිබූ බව වාර්තා වේ.
ගාල්ල කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් ස්ථානීය පරීක්ෂණ සිදු කළ අතර, ගාල්ල මහේස්ත්‍රාත්වරයා ස්ථානයට පැමිණ මූලික මරණ පරීක්ෂණය පැවැත්වීය. ඉන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා සිරුරු දෙක 08 වැනිදා පස්වරුවේ කරාපිටිය ශික්ෂණ රෝහල වෙත රැගෙන එන ලදී.
ගාලු දිසාභාර නියෝජ්‍ය පොලිස්පති එච්.සී.ඒ. පුෂ්ප කුමාර මහතාගේ උපදෙස් පරිදි, ගාල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.එස්.කේ. රූපසිංහ මහතාගේ මෙහෙයවීම යටතේ හබරාදුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රසන්න ඇල්ගිරියගේ මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

