විහාරමහාදේවී උද්යානයේ සිට දියත් වන සත්යග්රහයේ නිරත බලංගොඩ කස්සප හිමියන් ඊයේ කොළඹ කිංස්බරි හෝටලයට වැඩම කිරීමත් සමග සමාජ මාධ්ය ඔස්සේ දැඩි ආන්දෝලනයක් හටගත්තේය. හිටපු අමාත්ය සරත් වීරසේකර ඇතුළු දේශපාලනඥයෙකු හා තවත් පිරිසක් සමග එහිදී රහසිගත සාකච්ඡාවක නිරත වූ බවට එල්ල වන චෝදනා මෙන්ම, සාමාන්ය ජනතාව දුක් විඳිද්දී ප්රධානීහු සැප විඳින බවට නැගෙන විවේචන හමුවේ උන්වහන්සේ දැඩි ප්රතිචාරයක් දක්වා තිබේ.
මෙම සත්යග්රහය දේශපාලන අරමුණු සහිතව සිදුකරන්නක් බවට ඇතැමුන් නගන චෝදනා ප්රතික්ෂේප කරන කස්සප හිමියන් පෙන්වා දෙන්නේ, තමන් වහන්සේ කිංස්බරි හෝටලයට වැඩම කළේ හදිසි දැඩි අසනීප තත්ත්වයක් හේතුවෙන් බවයි. මීට දින දෙකකට පමණ පෙර තමන් වහන්සේට 102ක පමණ උණක් පැවති බවත්, දැඩි ලෙස වෙව්ලමින් සිටි බැවින් ශ්රද්ධාවන්ත දායකයින් විසින් සූදානම් කළ විවේක ස්ථානයකට වැඩම කිරීමට සිදුවූ බවත් උන්වහන්සේ පවසති. එහිදී වෛද්ය කණ්ඩායම් පැමිණ ප්රතිකාර කළ බවද උන්වහන්සේ සඳහන් කළහ.
කෙසේ වෙතත්, මෙම සිදුවීමත් සමග කස්සප හිමියන් අදාළ හෝටල් කළමනාකාරීත්වයට එරෙහිව බරපතළ චෝදනාවක් එල්ල කර තිබේ. ජනතාවගේ විශ්වාසය මත එම ස්ථානවලට වැඩම කළද, එහි කළමනාකරුවන් සහ ආයතන ප්රධානීන් විසින් ඉතා සංවේදී පුද්ගලික දත්ත මාධ්යයට මුදාහැර ඇති බවට උන්වහන්සේ චෝදනා කරති. ජාත්යන්තර මට්ටමේ හෝටල් සංකීර්ණ මෙලෙස පුද්ගලික දත්ත මුදාහැරීම බරපතළ තත්ත්වයක් බවත්, විදෙස්ගත ප්රජාව පවා මෙම ආයතන කෙරෙහි තබන විශ්වාසය පිළිබඳව දෙවරක් කල්පනා කරනු ඇති බවත් පෙන්වා දෙන කස්සප හිමියෝ, ඊට එරෙහිව නීතිමය ක්රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව අවධාරණය කරති.
මීට අමතරව, ආණ්ඩුවට හෝ ආණ්ඩුවට පක්ෂපාතී පිරිස් විසින් තම සත්යග්රහයට සහාය දක්වන ජනතාවට තර්ජනය කරමින් මර්දනයක් දියත් කර ඇති බවද උන්වහන්සේ පෙන්වා දෙති. සත්යග්රහය වෙනුවෙන් පැමිණෙන වාහනවල ඡායාරූප ලබාගෙන, ඒවායේ අයිතිකරුවන්ගේ තොරතුරු සොයා මාධ්යයට මුදාහරිමින් ජනතාව බියගැන්වීමට කිසිවෙකුටත් අයිතියක් නොමැති බව උන්වහන්සේ ප්රකාශ කරති.
තමන් වහන්සේට එල්ල වන මඩ ව්යාපාර ඇතැම් පාර්ශ්වයන්ගේ කුලී කොන්ත්රාත්තු මත සිදුවන්නක් බව පවසන බලංගොඩ කස්සප හිමියෝ, බුදුන් දවසද මෙවැනි විවේචන පැවති බව සිහිපත් කරති. බුදුරජාණන් වහන්සේද ඇතැම් විට රූක්ෂ සෙනසුන් භාවිත කළ අතර තවත් විටෙක රජවරුන්ගේ සහ අමාත්යවරුන්ගේ සුඛෝපභෝගී නිවාසවල වැඩසිටි බව පෙන්වා දෙන උන්වහන්සේ, ජනතාව මේ නොමඟ යැවීම්වලට හසු නොවිය යුතු බව ප්රකාශ කරති. බෞද්ධ ජනතාව තමන්ට හැකි පමණින් ජලය, ආහාර පාන, ශ්රමය මෙන්ම ඉඩකඩම් පවා ශාසනයට පූජා කිරීමට සැදී පැහැදී සිටින බවත්, අතීතයේදී මුළු රටම පවා බුද්ධ ශාසනයට පූජා කර ඇති පසුබිමක එක් හෝටල් කාමරයක් පිළිබඳව කතා කිරීම ඵලක් නොවන බවත් උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කරති.