කොට්ටාව සහ මහරගම ප්රදේශයේ සිට දරුවන් පිරිසක් රැගෙන කොක්ගල මාටින් වික්රමසිංහ අනුස්මරණ කෞතුකාගාරය නැරඹීමට පැමිණි බස් රථයක්, ආපසු ගමන් අරඹනවාත් සමඟම දුම්රිය හරස් මාර්ගයකදී දුම්රියක ගැටීමෙන් අද (25) දහවල් අනතුරක් සිදුවිය. හබරාදූව පොලිස් වසමට අයත් කොග්ගල ප්රදේශයේ පිහිටි කෞතුකාගාරයට පිවිසෙන දුම්රිය හරස් මාර්ගයේදී සිදුවූ මෙම අනතුරින් පාසල් වියේ පසුවන ළමුන් 10 දෙනෙකු තුවාල ලබා තිබේ.
අනතුරට මුහුණ දෙන අවස්ථාවේදී බස් රථය තුළ අවුරුදු 14 සහ 15 යන වයස්වල පසුවන ළමුන් 41 දෙනෙකු, උපකාරක පන්ති ගුරුවරුන් 14 දෙනෙකු සහ දෙමාපියන් 06 දෙනෙකු ගමන් කරමින් සිට ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් පස්වරු 12.50 ට මරදාන බලා ධාවනය වෙමින් තිබූ සීඝ්රගාමී දුම්රියේ, අදාළ බස් රථයේ පසුපස කොටස ගැටීමෙන් මෙම සිදුවීම වාර්තා වී තිබේ. අනතුර සිදුවූ ස්ථානය ආරක්ෂිත ගේට්ටු නොමැති දුම්රිය හරස් මාර්ගයක් වන අතර, එය විදුලි ආලෝක සංඥා සහ සීනු ආධාරයෙන් පමණක් ක්රියාත්මක වන්නකි. කෙසේ වෙතත්, අනතුර සිදුවන අවස්ථාවේදී අදාළ දුම්රිය හරස් මාර්ග සංඥා ක්රියාත්මකව තිබී ඇති බවට ද තොරතුරු වාර්තා වේ.
තුවාල ලැබූ දරුවන් මේ වන විට කරාපිටිය සහ උණවටුන යන රෝහල්වලට ඇතුළත් කර ප්රතිකාර ලබමින් සිටිති. මුල් අවස්ථාවේදී පුද්ගලයින් හය දෙනෙකු තුවාල ලබා ඇති බවත් ඉන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතල බවත් වාර්තා වුවද, පසුව තුවාල ලැබූ ළමුන් ගණන 10ක් දක්වා ඉහළ ගොස් ඇති බව පොලීසිය තහවුරු කළේය.
අනතුර සිදුවීමෙන් අනතුරුව බස් රථයේ රියදුරු පළාගොස් ඇති බවට මූලික තොරතුරු වාර්තා වුවද, මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් 40 හැවිරිදි බස් රථ රියදුරා සහ 21 හැවිරිදි කොන්දොස්තරවරයා අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
අනතුර සම්බන්ධයෙන් හබරාදූව පොලීසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.