ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී දළදා මාලිගාවට බෝම්බ ප්‍රහාර එල්ල කළ බවට කෙරෙන ප්‍රකාශය පිළිගත නොහැකි බවත්, දළදා මාලිගාවට බෝම්බ ප්‍රහාරය එල්ල කළේ එල්.ටී.ටී.ඊ. සංවිධානය බවත් මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අද (12) සමගි ජන බලවේගයේ නියෝජිත පිරිසක් හමුවේ ප්‍රකාශ කළහ.
සමගි ජන බලවේගයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රමුඛ මන්ත්‍රීවරුන් පිරිසක් අද මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයන්හි මහානායක හිමිවරුන් බැහැදැක, මේ දිනවල ආන්දෝලනයට ලක්ව ඇති ආගමික හා ශාසනික කරුණු ගණනාවක් සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූහ. ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ගැලවීමේ සිද්ධිය ද එහිදී සාකච්ඡාවට බඳුන් වූ කරුණු අතර විය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙන්ම සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහිණී කවිරත්න, ජේ.සී. අලවතුවල, සුජීව සේනසිංහ, කින්ස් නෙල්සන් සහ චමින්ද්‍රානි කිරිඇල්ල යන මහත්ම මහත්මීහු ද මෙම නියෝජිත පිරිසට එක්ව සිටියහ.
මල්වතු මහානායක හිමියන් බැහැදුටු අවස්ථාවේදී උන්වහන්සේ සහ සජබ නියෝජිත පිරිස අතර දීර්ඝ සංවාදයක් ඇති විය. එහිදී අදහස් දැක්වූ රංජිත් මද්දුමබණ්ඩාර මහතා, වත්මන් ආණ්ඩුවේ පිරිස් අතීතයේදී දළදා මාලිගාවට බෝම්බ ගැසූ බව ප්‍රකාශ කළේය. ඊට පිළිතුරු දුන් මහානායක හිමියෝ, "මේ අය බෝම්බ ගැහුවා කියලා කියන්නේ කොහොමද? වෙන අය කිව්ව පමණින් අපිට ඒවා කියන්න බැහැ" යැයි පෙරළා ප්‍රශ්න කළහ.
"එහෙම කියනවනේ හාමුදුරුවනේ" යැයි මද්දුමබණ්ඩාර මහතා පැවසූ විට, "කවුරු කිව්වත් අපි දන්නවනේ" යැයි වදාළ මහානායක හිමියෝ, ජවිපෙ මුල් කාලයේදී පොලිසියෙන් ගිනි අවි උදුරා ගත් නමුත් එල්.ටී.ටී.ඊ. සංවිධානය මෙන් බෝම්බ ප්‍රහාර එල්ල නොකළ බව ද පෙන්වා දුන්හ.
රට නිරාගමික රාජ්‍යයක් බවට පත් කරන බවට වත්මන් ආණ්ඩුවේ පිරිස් ප්‍රකාශ කර ඇති බව ද මද්දුමබණ්ඩාර මහතා එහිදී සඳහන් කළේය. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහානායක හිමියෝ, "ඒවා ඇත්ත ද නැද්ද කියලා කියන්න බැහැ. පෙරහැර නතර කරනවා කිව්වට නතර කළේ නෑනේ. එතුමන්ලා ආගමික උත්සවවලටත් සහභාගී වෙනවානේ" යැයි වදාළහ.
ජාතික ජන බලවේගය බලයට පැමිණියහොත් පෙරහැර පවා නතර කරනු ඇතැයි ඇතැම් පිරිස් කලින් ප්‍රකාශ කළ ද, අද වන විට එවැනි තත්ත්වයක් මතු වී නොමැති බව ද මහානායක හිමියන්ගේ අදහස විය.
