former-chief-justice-says-the-sentence-given-to-venerable-gnanasara-thero-is-illegal

බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීමේ වගකීම හා සිංහල බෞද්ධ උරුමයන් සුරැකීම පිළිබඳ ජාතික මහා සමුළුව අද (12) පස්වරුවේ කොළඹදී පැවැත්විණි. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය සංවිධානය කළ මෙම සමුළුවට මහා සංඝරත්නය, දේශපාලනඥයින් ඇතුළු පාර්ශ්ව රැසක් එක්ව සිටියහ.




සමුළුව අමතමින් අදහස් දැක්වූ හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා චෝදනා කළේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලබා දී ඇති දඬුවම සම්පූර්ණයෙන්ම නීති විරෝධී බවයි.

ඔහු පැවසූ පරිදි, අදාළ මහේස්ත්‍රාත්වරයා අභියාචනාධිකරණයේ සභාපති ප්‍රීතිපද්මන් සූරසේන මහතා වෙත ලිපියක් යොමු කරමින්, තමාට ලබා දිය හැකි දඬුවම් බලය සීමිත බැවින් වඩා බරපතළ දඬුවමක් සඳහා කරුණු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරන බව සඳහන් කර තිබේ.




"ඔන්න ඔතන තමයි මේකේ ගැටය තියෙන්නේ, දැන් මේකෙ නීතිමය තත්ව මොකක්ද? උසාවියට අපහාස කිරීම. දඩුවම් තියෙනවා මෙතන. Magistrate’s Court fine not exceeding one thousand five hundred rupees imprisonment of either simple imprisonment or rigorous imprisonment for a period not exceeding eighteen months. මාස දහ අටයි දෙන්න බෑ. අවුරුදු එකහමාරයි. දැන් මෙතන ප්‍රීතිපද්ම සූරසේන දීලා තියෙන්නෙ අවුරුදු හයක්. නීතියෙන් තියෙන්නෙ මාස දහ අටයි. " 


යැයි ඔහු කීය.

අධිකරණයට අපහාස කිරීමේ වරදට නීතියේ දක්වා ඇති දඬුවම රුපියල් 1,500කට නොවැඩි දඩයක් සහ මාස 18කට නොවැඩි සාමාන්‍ය හෝ සශ්‍රමික සිර දඬුවමක් බව පෙන්වා දුන් ඔහු, එසේ තිබියදී විනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන මහතා වසර හයක සිර දඬුවමක් නියම කර ඇති බව පැවසීය. නීතියේ ඇති මාස 18ක උපරිමය වුවද අදාළ වන්නේ අභියාචනාධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පමණක් බවත්, ඉදිරිපත් කළ අනෙකුත් කරුණු සම්බන්ධයෙන් කිසිදු වරදක් නොමැති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.



හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඥානසාර හිමියන්ට සමාව ලබා දීම සාධාරණ ක්‍රියාවක් බව ද ඔහු සඳහන් කළේය. මේ සිදුවන්නේ කුමන්ත්‍රණයක් බවට මනෝහර ද සිල්වා මහතා කළ ප්‍රකාශය නිවැරදි බව ද ඔහු අවධාරණය කළේය.

ඥානසාර හිමියන්ගෙන් ඇරඹි මෙම ක්‍රියාවලිය දැන් ගම්මන්පිල, ජයවීර, වීරවංශ, මහින්ද පතිරණ ඇතුළු සිංහල නායකයින් රැසක් දක්වා ව්‍යාප්ත වී ඇති බවත්, ඔවුන්ට එරෙහිවද අභියාචනාධිකරණයේ නඩු පවරා ඇති බවත් ඔහු පැවසීය. "දැන් මේක නිකන් වෛරසයක් වගේ බෝ වෙනවා. මේක නවත්වන්න අපි යන්න ඕනේ නීතිමාර්ගයෙන්," යැයි ඔහු කීය.

එක් අතකින් සංඝයා වහන්සේලාට පහර දෙන අතර අනෙක් අතින් සිංහල නායකයින්ට පහර දෙන බවත්, මෙය වෛරය මුල් කරගත් ඉලක්ක කිරීමක් බවත් ඔහු චෝදනා කළේය.
හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතාගේ අදාළ ප්‍රකාශයේ හඬ පටය පහතින්