ඉන්දීය රජය විසින් ජාත්‍යන්තර රතු නිවේදනයක් නිකුත් කර සිටි ශ්‍රී ලාංකික සැකකරුවෙකු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. වයස අවුරුදු 54ක් වන අහුංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම පුද්ගලයා, ඊයේ 30 වන දින වාද්දුව ප්‍රදේශයේ කුලී නිවසක සැඟවී සිටියදී මෙලෙස නීතියේ රැහැනට කොටු වී ඇත.
මොහු මීට පෙර මුහුදු මාර්ගය ඔස්සේ හෙරොයින් කිලෝග්‍රෑම් 337ක තොගයක් ඉන්දියාවට රැගෙන යමින් සිටියදී ඉන්දීය නාවික හමුදාව මගින් අත්අඩංගුවට පත්ව එරට බන්ධනාගාරගත කර සිටි අයෙකි. අනතුරුව ඉන්දියාවේ කොවිල්කේස් බන්ධනාගාරයෙන් පළා ගොස් ඇති මොහු, නැවතත් මුහුදු මාර්ගයෙන්ම ශ්‍රී ලංකාවට පැමිණ වෙන්නප්පුව ප්‍රදේශයේ සැඟවී සිට ඇත.
එලෙස වෙන්නප්පුවේ සැඟවී සිටියදී ප්‍රදේශයේ පොලීසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි. පසුව ඇප මත මුදා හැර සිටි මෙම සැකකරු, අදාළ නඩුව සඳහා අධිකරණයේ පෙනී සිටි අවස්ථාවකදී බන්ධනාගාර නිලධාරීන්ගේ ග්‍රහණයෙන් මිදී පළාගොස් වාද්දුව ප්‍රදේශයේ සැඟවී සිටියදී මෙලෙස ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් නැවතත් අත්අඩංගුවට පත්ව ඇත.
මෙම සැකකරු සම්බන්ධයෙන් උදර්පන නීතිය යටතේ ක්‍රියාමාර්ග ගෙන ඔහුව ඉන්දීය රජය වෙත භාර දීමට නියමිතව තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් මේ වන විටත් ඉදිරි විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.
