a-discussion-about-digger-who-transformed-tom-cruise-beyond-recognition

මෑතකදී ලන්ඩනයේ ඔඩියොන් ලෙස්ටර් ස්ක්වෙයාර් හි පැවැති රාජකීය චිත්‍රපට දර්ශනයේදී (Royal Film Performance) 'ඩිගර්' (Digger) නමැති නවතම සිනමාපටයේ ලෝක මංගල දර්ශනය එළිදැක්විණි. මෙම අවස්ථාව සඳහා වේල්සයේ කුමරු සහ කුමරිය ද සහභාගී වූහ.

ඔස්කාර් සම්මාන ලාභී ඇලෙහන්ද්‍රෝ ජී. ඉනාරිටු (Alejandro G Inarritu) විසින් අධ්‍යක්ෂණය කර ඇති මෙම චිත්‍රපටය, ප්‍රේක්ෂකයන්ගේ පරිකල්පනය පුබුදුවන අඳුරු හාස්‍යයෙන් පිරි උපහාසාත්මක නිර්මාණයක් ලෙස හඳුන්වා දී ඇත. මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන ටෙක්සාස්හි කෲර ඛනිජ තෙල් ව්‍යාපාරික 'ඩිගර් රොක්වෙල්' ගේ චරිතයට පණ පොවන්නේ සුප්‍රසිද්ධ නළු ටොම් කෲස් විසිනි.




හැට හතර හැවිරිදි ටොම් කෲස්, ඔහුගේ සුපුරුදු ආකර්ෂණීය පෙනුමෙන් මිදී, තට්ටය පෑදුණු සහ ඉදිරියට නෙරා ආ කුසක් සහිත වියපත් පුද්ගලයෙකුගේ ස්වරූපයෙන් මෙහි පෙනී සිටීම සුවිශේෂී කරුණකි. ඔහු හඳුනාගැනීමට පවා අපහසු වන අයුරින් කෘත්‍රිම අංග රචනයන් (prosthetics) භාවිතා කර ඇති අතර, මෙය හොලිවුඩ් සම්මතයන් බිඳ දමන රංගනයක් බව විචාරක මතයයි. චිත්‍රපටයේ කතා වස්තුව ගොඩනැගී ඇත්තේ ග්‍රීන්ලන්තයේ සිදුවන දැවැන්ත පාරිසරික ව්‍යසනයක් සහ ඩිගර්ගේ පෞද්ගලික ජීවිතයේ ගැටලු වටා ය. ඔහුගේ සමාගම විසින් ග්‍රීන්ලන්තයේ සිදුකරන කැණීම් හේතුවෙන් මීතේන් වායුව කාන්දු වීමක් සහ භයානක පිපිරීමක් සිදුවී හිම කන්දකින් විශාල කොටසක් කැඩී යන අතර, ඉන් යුරෝපයට විශාල තර්ජනයක් එල්ල වේ. එහෙත් ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට ඇමරිකානු ජනාධිපතිවරයා ඇතුළු පිරිස පැමිණෙන විට, ඩිගර් වැඩි අවධානයක් යොමු කරන්නේ ලියුකේමියා රෝගයෙන් මරණාසන්නව සිටින සිය සුරතල් බළලාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වීම කතාවේ ඇති හාස්‍යජනක ස්වභාවය මනාව පිළිඹිබු කරයි.



ඒකාධිපති ස්වභාවයක් ගන්නා ඇමරිකානු ජනාධිපති කොම්ප්සන්ගේ චරිතයට ජෝන් ගුඩ්මන් (John Goodman) පණ පොවන අතර, පාරිසරික ආරක්ෂාව පිළිබඳ ප්‍රධානියා ලෙස රිස් අහමඩ් (Riz Ahmed) රංගනයෙන් දායක වේ. පාරිභෝගිකයන් ලෙස අප සියලු දෙනාම අපගේම විනාශයට වගකිව යුතු බවට වන ප්‍රබල පණිවිඩයක් අධ්‍යක්ෂවරයා විසින් මෙමගින් සමාජයට ලබා දී ඇත. පාරිසරික ව්‍යසනයක් කේන්ද්‍ර කරගත්, ස්ටැන්ලි කුබ්‍රික්ගේ 1964 වසරේ නිකුත් වූ 'ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ලව්' (Dr Strangelove) චිත්‍රපටයට යම් ගෞරවයක් පුද කරන මෙම නිර්මාණයේ විශිෂ්ටත්වය හේතුවෙන්, ටොම් කෲස්, ජෝන් ගුඩ්මන් මෙන්ම අධ්‍යක්ෂ ඉනාරිටු සඳහා ද ඉදිරියේදී ඔස්කාර් සම්මාන නිර්දේශ හිමිවනු ඇතැයි කටකතා පැතිරෙමින් පවතී.