කිරිඳිවැල, ඉඹුලහේන ප්‍රදේශයේ පිහිටි නිවසක් තුළ දී තියුණු ආයුධයකින් පහර දී කාන්තාවක ඝාතනය කිරීමේ සහ ඊට සම්බන්ධ යැයි සැක කෙරෙන ඇයගේ ස්වාමිපුරුෂයා දුම්රියකට පැන සියදිවි හානි කරගැනීමේ ඛේදනීය පුවතක් වාර්තා වේ. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු හැත්තෑ පහක් වූ වයෝවෘද්ධ කාන්තාවකි.
පසුගිය 29 වන දා සිදුව ඇති මෙම අපරාධය සම්බන්ධයෙන් කිරිඳිවැල පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර තිබේ. ඝාතනය සිදු වූ නිවස දැඩි පරීක්ෂාවකට ලක් කිරීමේ දී, මියගිය කාන්තාවගේ සැමියා විසින් ලියා තබන ලද්දක් බවට අනුමාන කරන ලිපියක් ද පොලිසිය විසින් සොයාගෙන ඇත. එම සාක්ෂි මත පදනම්ව, අදාළ කාන්තාවගේ ඝාතනය ඇයගේ සැමියා විසින් ම සිදු කරන්නට ඇති බවට විමර්ශකයෝ සැක පළ කරති. එහෙත් මෙම අපරාධයට තුඩු දුන් නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය කරගෙන නොමැත.
පොලිස් විමර්ශන මගින් තවදුරටත් තහවුරු වී ඇත්තේ බිරිඳ ඝාතනය කළ බවට සැක කෙරෙන සැමියා වේයන්ගොඩ පොලිස් බලප්‍රදේශය තුළ දී දුම්රියකට පැන මෙලෙස සිය ජීවිතය තොර කරගෙන ඇති බවයි. මේ වන විට මියගිය අඹුසැමි යුවළගේ මෘත දේහයන් වතුපිටිවල රෝහලේ මෘත ශරීරාගාරයෙහි තැන්පත් කර තිබේ. ඝාතනය වූ කාන්තාවගේ දේහය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය ද සිදු කිරීමට නියමිතව ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කිරිඳිවැල පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
