chamara-within-11-days---the-right-that-has-been-done-will-be-revealed-in-court

ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා සහ ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ නිසි ටෙන්ඩර් ක්‍රමවේදයන්ගෙන් බැහැරව කටයුතු කරමින් අල්ලස් ලබාගැනීම සහ අයථා ලෙස රුපියල් කෝටි ගණනක වත්කම් ඉපැයීම යන චෝදනා මත අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ලබන ඔක්තෝබර් 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කර තිබේ.




අදාළ චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා පසුගිය සිකුරාදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට කැඳවා තිබුණද මන්ත්‍රීවරයා එදින ඊට සහභාගී වී නොතිබුණි. ඒ වෙනුවට අද (12) දිනයේ කොමිසම හමුවේ පෙනී සිටින බවට ලිපියක් මගින් දැනුම් දී තිබූ අතර, ඒ අනුව අද පෙරවරුවේ අල්ලස් කොමිසම වෙත පැමිණි ඔහුගෙන් පැය හතරකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

අධිකරණය හමුවේ කරුණු දැක්වූ අල්ලස් කොමිසමේ නිලධාරීන් පෙන්වා දුන්නේ, චාමර සම්පත් දසනායක මහතා ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයාව සිටි සමයේදී අමාත්‍යාංශ ලේකම්වරියගේ උපදෙස් පවා නොතකා, නියමිත ප්‍රසම්පාදන ක්‍රමවේදයෙන් බැහැරව සිය බලපෑම මත තෝරාගත් සමාගම් තුනකට පමණක් පොස්පේට් අපනයන බලපත්‍ර ලබා දී ඇති බවයි.




එම බලපත්‍ර ලබාදීම වෙනුවෙන් ඩී.එම්. ට්‍රේඩර්ස් සමාගමෙන් රුපියල් ලක්ෂ 22ක්, දිසරු ඉන්ටර්නැෂනල් සමාගමෙන් රුපියල් ලක්ෂ 59ක් සහ ඉච්චාන් සමාගමෙන් රුපියල් ලක්ෂ 3ක් ලෙස සම්පූර්ණ රුපියල් ලක්ෂ 84ක අල්ලස් මුදලක් ලබාගෙන ඇති බවට කොමිසම අධිකරණයට කරුණු වාර්තා කළේය. මෙම මුදල් බැර වී ඇත්තේ මන්ත්‍රීවරයාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ, මේ වන විටත් රක්ෂිත බන්ධනාගාරගතව සිටින සුමතිපාල ලියනාරච්චි නමැත්තාගේ බැංකු ගිණුමටයි. එම මුදල් චාමර සම්පත් දසනායක මහතාගේ දේශපාලන ප්‍රවර්ධන කටයුතු සඳහා යොදාගත් බවට පළමු සැකකාර ලේකම්වරයා ලබාදුන් ප්‍රකාශ සහ සාක්ෂි සම්පිණ්ඩන වාර්තා මගින් තහවුරු වන බවද අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය.

මීට අමතරව, 2026 මාර්තු 21 වැනිදා ජනාධිපති අතිරේක ලේකම්වරයා (දූෂණ විරෝධී විශේෂ විමර්ශන) විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මන්ත්‍රීවරයාගේ අයථා වත්කම් ඉපැයීම් සම්බන්ධයෙන් ද අල්ලස් කොමිසම අධිකරණයට කරුණු අනාවරණය කළේය. මැණික් ව්‍යාපාරිකයන්ගෙන් අල්ලස් ගැනීම සහ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් ලබාගැනීම හරහා සිය බිරිඳ, පවුලේ ඥාතීන් සහ පෞද්ගලික ලේකම්වරයා හරහා ඔහු මෙම අයථා වත්කම් උපයාගෙන ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබේ.



ඒ අනුව සැකකරුගේ බිරිඳගේ නමින් ඇල්ල ප්‍රදේශයේ රුපියල් කෝටි අටක් වටිනා "ඇල්ල රාවන් ප්ලේස්" නමැති හෝටලයක් ද, බදුල්ල නගරයේ රුපියල් කෝටි තුනක් වටිනා සුඛෝපභෝගී නිවාස දෙකක් සහ පර්චස් පහක ඉඩමක් ද ඇති බව අනාවරණය වී ඇත. එසේම 2017 ජනවාරි 31 සිට 2025 ජනවාරි 1 දක්වා කාලය තුළ පමණක් පෞද්ගලික ලේකම්වරයාගේ බදුල්ල රජයේ බැංකු ගිණුමකට රුපියල් මිලියන 23ක මුදලක් තැන්පත් වී ඇති බවද අධිකරණයේදී කියැවිණි.

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් දූෂණ විරෝධී පනතේ 179 වගන්තිය ප්‍රකාරව සහතිකයක් අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර, ඒ අනුව සැකකරුට ඇප ලබාදීමට නම් සුවිශේෂී කරුණු ඉදිරිපත් විය යුතු බව කොමිසම පෙන්වා දුන්නේය.

සැකකාර මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා ඇප අයදුමක් ඉදිරිපත් කරමින් තර්ක කළේ, 2023 වසරේ මුල් පැමිණිල්ලකට අදාළව අධිකරණයට ඉදිරිපත් කර ඇති සාක්ෂිකරුවන් පහළොස් දෙනකුගේ සාක්ෂි සම්පිණ්ඩන වාර්තා කිසිවක සිය සේවාදායකයා අල්ලස් ඉල්ලීමක්, ලබාගැනීමක් හෝ ඊට කුමන්ත්‍රණය කිරීමක් පිළිබඳ සෘජු සඳහනක් නොමැති බවයි. අදාළ විෂයගත කරුණු අයත් රේඛීය අමාත්‍යාංශය මොහුට අයත් නොවන බවත්, පොස්පේට් අපනයන බලපත්‍ර ලබාදෙන සමාගම් තීරණය කරනු ලබන්නේ කමිටුවකින් විනා අමාත්‍යවරයා විසින් නොවන බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කරන ලද කරුණු දීර්ඝ ලෙස සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා තීරණය කළේ පොස්පේට් සමාගම්වලට බලපත්‍ර දීම සහ මැණික් ව්‍යාපාරිකයින්ගෙන් අල්ලස් ලබාගැනීම සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩු පහකට අදාළව ඇප ලබාදීමට තරම් සුවිශේෂී කරුණු ඉදිරිපත් වී නොමැති බවයි. ඒ අනුව මන්ත්‍රීවරයාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා, පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඔක්තෝබර් 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

gossiplanka image