former-president-maithripala-sirisena-apologizes

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලබා දුන් ජනාධිපති සමාවට අදාළව තම කාර්යාලයේ නිලධාරීන් අතින් සිදුවූ බරපතළ අත්වැරැද්දක් හේතුවෙන් උන්වහන්සේට යළිත් බන්ධනාගාරගත වීමට සිදුවීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෞරවනීය මහා සංඝරත්නයෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා තිබේ.




විශේෂ නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ඥානසාර හිමියන් යළි සිරගත කිරීමට හේතු වූ අධිකරණ තීන්දුවේ සඳහන් වන 'තාක්ෂණික දෝෂය' කුමක්ද යන්නයි. උන්වහන්සේට සමාව ලබා දීමේදී ජනාධිපති කාර්යාලයෙන් අධිකරණයට ඉදිරිපත් කළ ලිපි ලේඛනවල මෙම දෝෂය සිදුව ඇති බවත්, ඒ සම්බන්ධයෙන් ගරු අධිකරණය ලබා දුන් තීරණය සම්පූර්ණයෙන්ම නිවැරදි බවත් පවසන ඒ මහතා, තමා එම තීන්දුවට ගරු කරන බව ද අවධාරණය කර ඇත.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව පැවති නඩු දෙකක් යටතේ ජනාධිපති සමාව ලබා දීම සඳහා අදාළ ලිපි ලේඛන පළමුව අධිකරණ හා බන්ධනාගාර අමාත්‍යාංශයට යවා අනුමැතිය ලබාගත යුතුව තිබිණි. ජනාධිපති කාර්යාලයේ නීති අංශය භාර අතිරේක ජ්‍යෙෂ්ඨ ලේකම්වරිය විසින් ඒ බව තමාට දන්වා සිටියද, අදාළ ඉල්ලීම අමාත්‍යාංශයට යවා නොමැති බව මෛත්‍රීපාල සිරිසේන මහතා සිය නිවේදනයෙන් හෙළි කර තිබේ.




අමාත්‍යාංශයේ කිසිදු අනුමැතියකින් තොරව හුදෙක් තමාගේ අත්සන පමණක් ලබාගෙන ඇති බවත්, එය තමා නොමඟ යැවීමක් බවත් හිටපු ජනාධිපතිවරයා එහි වැඩිදුරටත් සඳහන් කර ඇත.

පාක්‍යසෝති සරවනමුත්තු මහතාගේ රාජ්‍ය නොවන සංවිධානයක් හරහා සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම නීතිමය තීරණය ලැබී ඇති බව පෙන්වා දෙන ඒ මහතා, තම කාර්ය මණ්ඩලයේ එවකට කටයුතු කළ නිලධාරීන්ගේ මෙම වරද හේතුවෙන් ඥානසාර හිමියන්ට මෙලෙස යළිත් සිරගත වීමට සිදුව ඇති බව ප්‍රකාශ කරයි.



ඥානසාර හිමි වසර 6 ක සිර දඩුවමට ලක්වන්නේ රනිල්අගමැති මෛත්‍රිපාල ජනපති ධූරය දරමින් සිටි 'යහපාලන' සමයේ 2018 අගෝස්තු 8 වැනිදා අභියාචනාධිකරණය, හෝමාගම සිද්ධියේ අපහාස චෝදනා හතරකටම වරදකරු කරමිනි. ඒ අනුව වැලිකඩට රැගෙන යන ලදී. ඊට මාස 2 කට පමණ පසු හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහින්ද රාජපක්ෂ සමග දින 52 තාවකාලික ව්‍යාජ ආණ්ඩුවක් පිහිටවූ අතර රාජපක්ෂ පක්ෂපාතී අයට වාසි දායක කාලයක් උදා විය. ඒ අනුව 2019 මැයි 23 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඥානසාර හිමිට සමාව දුන්නේය. මාස නවයකට ආසන්න කාලයකට පසු හිමියන් වැලිකඩින් පිටතට පැමිණියේය. සමාව ලබා පිටතට පැමිණී‍මට මාසයකට පෙර පාස්කු ප්‍රහාරයද සිදුවූ අතර මෙම කාලයේ මුස්ලිම් විරෝධී හඩක් නැගීමට අවශ්‍ය වටපිටාවක් දේශපාලන පරිසරය මගින් නිර්මාණය කර තිබුණි.