ග්‍රීක බැඳුම්කර සිද්ධියට අදාළව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ තමන්ට එරෙහිව ගොනු කර ඇති නඩුව අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කළ විශේෂ අභියාචනා පෙත්සම, හිටපු මහ බැංකු අධිපති ආචාර්ය අජිත් නිවාඩ් කබ්රාල් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා අස්කර ගෙන තිබේ.
අදාළ නඩුකරය සම්බන්ධයෙන් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නියෝගයක් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇති බැවින් පෙත්සම ඉල්ලා අස්කර ගන්නා බව, කබ්රාල් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දැනුම් දුන්හ. ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පෙත්සම සලකා බැලීම සඳහා අද (09) දිනය නියම කර තිබිණි.
මෙම පෙත්සම මීට පෙර අචල වෙන්ගප්පුලි, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ ශනිල් කුලරත්න මහතා අධිකරණයට දැනුම් දුන්නේ පෙත්සමට අදාළ නොතීසිය තමන්ට ලැබුණේ ඊට පෙර දිනයේදී බවයි. එබැවින් නෛතික කරුණු අධ්‍යයනය කර කරුණු දැක්වීමට ප්‍රමාණවත් කාලයක් අවශ්‍ය බව ඔහු පෙන්වා දුන්නේය. ඒ අනුව පෙත්සම ඔක්තෝබර් 09 වනදා යළි කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
2012 වසරේදී ආර්ථික අවදානමකට මුහුණ දී සිටි ග්‍රීසියේ ස්වෛරී බැඳුම්කරවල ශ්‍රී ලංකා රජයට අයත් රුපියල් බිලියන 1.84කට ආසන්න මුදලක් ආයෝජනය කිරීමෙන් රජයට පාඩු සිදු කළ බවට චෝදනා කරමින්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මුලින්ම කබ්රාල් මහතාට එරෙහිව කොළඹ මහාධිකරණයේ නඩු පවරා තිබිණි.
පසුව එම අධිචෝදනා පත්‍රය ඉවත් කර ගත් අල්ලස් කොමිසම, නව දූෂණ විරෝධී පනතේ වෙනත් විධිවිධාන යටතේ කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ යළි නඩු පැවරීය. එකම කරුණක් මුල් කරගෙන අධිකරණ බල අධිකාරීන් දෙකක් යටතේ නඩු පැවරීම නීති විරෝධී බව පෙන්වා දෙමින් කබ්රාල් මහතා මූලික විරෝධතා මතු කළ ද, ත්‍රිපුද්ගල මහාධිකරණය එම විරෝධතා ප්‍රතික්ෂේප කර නඩු විභාගය ඉදිරියට ගෙන යාමට තීරණය කළේය.
එම තීරණය බලරහිත කරන ලෙසත්, තමන් අදාළ චෝදනාවලින් නිදහස් කර මුදාහරින ලෙසත් ඉල්ලමින් ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම විශේෂ අභියාචනා පෙත්සම ඉදිරිපත් කර තිබිණි. පෙත්සම ඉල්ලා අස්කර ගැනීමත් සමඟ, දැන් අවධානය යොමු වී ඇත්තේ ත්‍රිපුද්ගල මහාධිකරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිත නියෝගය වෙතය.

