businessman-nimal-kosgolla-was-killed-to-steal-a-gold-necklace-the-killer-has-been-arrested

දකුණු කොරියාවේ වසර අටක් පමණ වෙහෙසී උපයාගත් මුදලින් ත්‍රිකුණාමලයේ අලංකාර සංචාරක නවාතැනක් ගොඩනැගූ ව්‍යාපාරිකයෙකුගේ ජීවිතය, සිය නවාතැන්පොළ තුළදීම අතිශය සාහසික ලෙස නිමාවට පත්වූයේ ඔහුගේ ගෙල බැඳි රන් මාලය නිසාවෙනි. පසුගිය 20 වැනිදා ත්‍රිකුණාමලය සිංහපුර ප්‍රදේශයේදී වාර්තා වූ මෙම ඛේදවාචකයේ අබිරහස විසඳමින්, ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු රත්මලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට ත්‍රිකුණාමලය මූලස්ථාන පොලීසියේ විශේෂ කණ්ඩායමක් පසුගිය 28 වැනිදා සමත් විය.




මෙලෙස ඝාතනයට ලක්වූයේ කටුගස්තොට, බොක්කාවිල ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවෙකු වූ 55 හැවිරිදි ඩබ්ලිව්.කේ. නිමල් කොස්ගොල්ල නමැති අවිවාහක ව්‍යාපාරිකයාය. විදේශ රැකියාව නිමවා දිවයිනට පැමිණීමෙන් පසු ඔහු සිංහපුර, හතර කණුව ප්‍රදේශයේ ‘මවුන්ට් විව් ගෙස්ට්’ නමැති හෝටලය ඉදිකර එය පවත්වාගෙන යමින් එහිම කාමරයක නවාතැන් ගෙන සිටියේය.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති අන්දමට මෙම කෲර ඝාතනය සිදුකර ඇත්තේ එම නවාතැන්පොළේම නැවතී ත්‍රිකුණාමලයේ ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයෙකි. රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම සැකකරු විවිධ පුද්ගලයන්ට ණය වී සිටි අයෙකි. එම ණය බරින් මිදීම සඳහා ව්‍යාපාරිකයාගේ ගෙල බැඳි රන් මාලය ලබාගැනීමේ අරමුණින් මෙම ඝාතනය සිදුකර තිබේ.




ඝාතනයෙන් පසු රන් මාලය රැගෙන පලා ගිය සැකකරු එය සිය බිරිඳට ලබා දී ඇත. අනතුරුව ඇය විසින් කොළඹ හෙට්ටිවීදියේ පිහිටි රන් ආභරණ වෙළෙඳසලකට රුපියල් ලක්ෂ 11ක මුදලකට එම මාලය විකුණා දමා තිබේ. එම මුදල් ඇයගේ බැංකු ගිණුමේ තැන්පත් කර, අවස්ථා කිහිපයකදී වරින් වර සිය ණය පියවා ඇති බව සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇතැයි පොලීසිය පවසයි.

මෙම අපරාධය මුලින්ම අනාවරණය වූයේ පසුගිය 20 වැනිදා රාත්‍රියේදීය. හෝටලයට නුදුරින් පදිංචිව සිටි ව්‍යාපාරිකයාගේ ඥාති සහෝදරියකට ඇතිවූ සැකයක් මත ඇය ඔහුගේ කාමරයට ගොස් විපරම් කර ඇත. එහිදී කාමරයේ ලේ පැල්ලම් කිහිපයක් දැක කලබලයට පත් වූ ඇය, හෝටල් භූමිය තවදුරටත් පරීක්ෂා කිරීමේදී හෝටලයට අයත් කබානාවක් අසල තම සහෝදරයාගේ ගෙල කපා ඝාතනය කර දමා ඇති අයුරු දැක වහාම පොලීසියට දැනුම් දී තිබුණි. ගෙල වෙන් වී යාමට ආසන්න වන තරමටම ගැඹුරට කැපී යන සේ තියුණු ආයුධයකින් මෙම ඝාතනය සිදුකර තිබූ බව පොලීසිය සඳහන් කළේය.



සිද්ධිය වූ අවස්ථාවේ ඝාතකයින් කවුරුන්ද යන්න පිළිබඳව කිසිදු හෝඩුවාවක් නොතිබූ මෙම අපරාධයේ සැකකරු නීතියේ රැහැනට කොටුකර ගැනීමට පොලීසියට මඟ පෑදුණේ ඝාතනයට උපයෝගී කරගත් පිහිය ඔස්සේ කළ පුළුල් විමර්ශනයකිනි. ත්‍රිකුණාමලය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක මහතාගේ උපදෙස් මත, කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වී.පී.ජේ. පුෂ්පකුමාර මහතාගේ මෙහෙයවීමෙන් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි (1) ප්‍රසන්න සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ කොට්ඨාස බුද්ධි ඒකකය සහ ත්‍රිකුණාමල මූලස්ථාන පොලීසිය එක්ව මෙම මෙහෙයුම දියත් කර තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකරු ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. වසර ගණනාවක් විදේශයේ වෙහෙසී උපයාගත් මුදලින් තම අනාගතය ගොඩනැගූ ව්‍යාපාරිකයෙකුගේ ජීවිතය, එක් රන් මාලයක් වෙනුවෙන් ඔහුගේම හෝටල් භූමිය තුළදී මෙලෙස ඛේදනීය ලෙස නිමාවට පත්විය.

gossiplanka image 2


gossiplanka image 3