prices-of-bread-and-bakery-products-increase

තිරිඟු පිටි මිල ඉහළ යාමේ සෘජු ප්‍රතිඵලයක් ලෙස, අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450ක පාන් ගෙඩියක සහ සෙසු බේකරි නිෂ්පාදනවල මෙන්ම කෙටි ආහාරවල (short eats) මිල රුපියල් 5කින් ඉහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය නිවේදනය කරයි.




මෙම තීරණය ප්‍රකාශයට පත් කෙරුණේ අද පෙරවරුවේ රද්දොළුගම පිහිටි එම සංගම් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය. සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ විධායක කමිටුව ගත් තීරණයකට අනුව එහි සභාපති එන්. කේ. ජයවර්ධන මහතා විසින් මෙම නිල නිවේදනය සිදු කරනු ලැබීය.

මෙලෙස බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ පසුගිය ඔක්තෝබර් 20 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ශ්‍රී ලංකාව තුළ තිරිඟු පිටි අලෙවි කරන සමාගම් විසින් පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 13කින් ඉහළ දැමීමයි.




පිටි මිල ඉහළ යාමත් සමග මතුවූ තත්ත්වය සම්බන්ධයෙන් බේකරි හිමියන්ගේ සංගමය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් සමන්තා කරුණාරත්න මහත්මිය දැනුවත් කිරීමට පියවර ගෙන තිබිණි. එහිදී ඇය පෙන්වා දී තිබුණේ, අධිකාරියට දැනුම් දීමකින් තොරව තිරිඟු පිටි මිල ඉහළ දැමීම නුසුදුසු ක්‍රියාවක් බවයි. එමෙන්ම, විදේශගතව සිටින වෙළෙඳ අමාත්‍යවරයා යළි දිවයිනට පැමිණෙන තෙක් බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමෙන් වළකින ලෙසද ඇය බේකරි හිමියන්ගෙන් ඉල්ලීමක් කර තිබුණි.

රජය කළ එම ඉල්ලීමට එකඟ වෙමින් බේකරි හිමියන්ගේ සංගමය දින 10ක කාලයක් මිල ඉහළ දැමීමෙන් වැළකී සිටියේය. එම කාලය තුළ අමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් මේ පිළිබඳව සාකච්ඡා ද පැවැත්වුණු බව සභාපතිවරයා සඳහන් කළේය. කෙසේ වෙතත්, පිටි මිල ඉහළ යාම හමුවේ සිය නිෂ්පාදනවල මිල ද ඊට සාපේක්ෂව ඉහළ දමන ලෙස දිවයින පුරා සිටින බේකරි හිමියන්ගෙන් සංගමයට දැඩි බලපෑමක් එල්ල වී තිබිණි.



මැදපෙරදිග පවතින ගැටුම් සහ අයහපත් ගෝලීය දේශපාලන තත්ත්වය හමුවේ ඉදිරියේදී තිරිඟු පිටි මිලෙහි අඩුවීමක් අපේක්ෂා කිරීම දුෂ්කර බව ජයවර්ධන මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

ඒ අනුව, කනගාටුවෙන් වුවද අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් සහ සෙසු කෙටි ආහාරවල මිල මෙලෙස රුපියල් 5කින් ඉහළ දැමීමට සංගමය තීරණය කළ බව ඔහු ප්‍රකාශ කළේය.