
ශ්රී ලංකාවේ ආපදා කළමනාකරණ කටයුතු වෙනුවෙන් නෙදර්ලන්ත රජයෙන් පරිත්යාග කළ, සුනාමි වැනි හදිසි ආපදාවලදී මෙහෙයුම් සඳහාම විශේෂයෙන් සකස් කරන ලද ජීප් රථයක් සිය පෞද්ගලික පරිහරණයට ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්ය ඒ.එච්.එම්. ෆවුසි මහතා මෙරට ජනතාවගෙන් ප්රසිද්ධියේ සමාව අයැද සිටියේය. ශ්රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් ඓතිහාසික නියෝගයකට අනුව, අදාළ ජීප් රථයේ ඡායාරූපයක් ද සහිතව සිංහල, දෙමළ සහ ඉංග්රීසි යන භාෂා ත්රිත්වයෙන්ම ජාතික පුවත්පත් තුනක මුල් පිටුවේ මෙම සමාව අයැදීම ප්රසිද්ධ කිරීමට ඔහු පියවර ගෙන තිබිණි.
ඒ අනුව අද (25) සිළුමිණ පුවත්පතේ ද අදාළ දැන්වීම පළකර තිබුණේ, WP KI-4666 දරන ටොයෝටා ලෑන්ඩ් කෲසර් ප්රාඩෝ වර්ගයේ ජීප් රථය අවභාවිත කිරීම සම්බන්ධයෙන් තමන් අවංකවම සමාව අයැද සිටින බව සඳහන් කරමිනි.
මෙම අසාමාන්ය සිදුවීම පිටුපස ඇත්තේ රාජ්ය දේපළ අවභාවිතය සහ බලය අයුතු ලෙස යෙදවීම පිළිබඳ වසර ගණනාවක් දිවෙන කතාන්දරයකි. නෙදර්ලන්ත රජයේ හදිසි තාක්ෂණය පිළිබඳ අන්තර්ජාතික මධ්යස්ථානය සමඟ එළඹි ගිවිසුමක් යටතේ විදේශාධාර ණය මුදලකින් ලබා ගත් රුපියල් 19,500,000ක් වටිනා මෙම විශේෂිත වාහනය 2010 නොවැම්බර් 3 වැනිදා ආපදා කළමනාකරණ මධ්යස්ථානය වෙත භාර දී තිබුණි. එහෙත්, ඉන් දින එකොළහකට පසු, එනම් 2010 නොවැම්බර් 14 වැනිදා පස්වරු 7.00ට පමණ එවකට ආපදා කළමනාකරණ අමාත්යවරයාව සිටි ෆවුසි මහතා අමාත්යාංශ ලේකම් සිත්ති මරීනා මොහොමඩ්ට දුරකතනයෙන් අමතා පැයක් ඇතුළත එම වාහනය තමන්ගේ නිවෙසට එවන ලෙස බලපෑම් කර ඇත.
මුලදී ඊට මැළි වූවද, පසුව ලේකම්වරිය විසින් අදාළ වාහනය ඔහුගේ නිවෙසට භාර දෙන ලෙස එවකට මධ්යස්ථානයේ අධ්යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී තිබූ බව අධිකරණයේදී හෙළි විය.
එම වසරේම නොවැම්බර් මාසයේදී ඔහු ආපදා කළමනාකරණ අමාත්ය ධුරයෙන් ඉවත් වූ අතර, 2011 ජනවාරි 01 වැනිදා සිට නාගරික කටයුතු පිළිබඳ ජ්යෙෂ්ඨ අමාත්යවරයා ලෙස වැඩ භාර ගත්තේය. ආපදා කළමනාකරණ මධ්යස්ථානය සම්බන්ධයෙන් කිසිදු වගකීමක් නොතිබුණද, ඔහු අදාළ වාහනය ආපසු භාර දීම ප්රතික්ෂේප කරමින් දිගින් දිගටම පරිහරණය කළේය. තවද, 2011 අප්රේල් 08 වැනිදා සිට 2014 ජූනි 21 දක්වා කාලය තුළ එම වාහනයේ නඩත්තුව සඳහා ජ්යෙෂ්ඨ අමාත්ය ලේකම් කාර්යාලයේ අරමුදල්වලින් රුපියල් 1,073,334.93ක මුදලක් වැය කිරීමටද ඔහු නිලධාරීන් පොලඹවා තිබුණි. ඇමැතිවරයකුට භාවිත කළ හැකි උපරිම වාහන සංඛ්යාව 3ක් ලෙස සීමා කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් 2010 වසරේ නිකුත් කර තිබූ චක්රලේඛය ද උල්ලංඝනය කරමින් ඔහු වාහන පහක් භාවිත කර ඇති බව ද මෙහිදී අනාවරණය විය.
2015 ජනවාරි 20 වැනිදා මෙම වාහනය නැවත මධ්යස්ථානයට භාර දෙන විට එය අලුත්වැඩියා කිරීමට රුපියල් 540,000ක මුදලක් වැය වී තිබුණි. 2015 මාර්තු මාසයේදී ඔහු යළිත් ආපදා කළමනාකරණ අමාත්යවරයා ලෙස පත් වූ පසු නැවතත් මෙම වාහනය ලබාගෙන ඇති අතර, එය අවසන් වරට ආපසු භාර දී ඇත්තේ 2015 සැප්තැම්බර් 17 වැනිදාය. ඒ වන විට ද නැවතත් අලුත්වැඩියාව සඳහා රුපියල් 51,100ක මුදලක් වැය වී තිබූ බව නඩු තීන්දුවේ සඳහන් වේ.
මෙම සිදුවීම් මාලාව සම්බන්ධයෙන් චන්ද්රා ජයරත්න විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කළ ශ්රේෂ්ඨාධිකරණය, පසුගිය සැප්තැම්බර් 29 වැනිදා තීන්දුව ලබා දෙමින් ප්රකාශ කළේ හිටපු අමාත්යවරයාගේ මෙම ක්රියාව හරහා ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 12(1) වගන්තියෙන් තහවුරු කර ඇති සමානාත්මතාවයේ මූලික අයිතිවාසිකම උල්ලංඝනය වී ඇති බවයි.
අගවිනිසුරු, ප්රීති පද්මන් සූරසේන සහ ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර යන විනිසුරුවරුන්ගේ එකඟත්වයෙන් ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා විසින් මෙම තීන්දුව ප්රකාශයට පත් කරන ලදී. ඒ අනුව, වාහනයේ නඩත්තු පිරිවැය වෙනුවෙන් රුපියල් 1,664,334.93ක් ද ඇතුළුව රුපියල් ලක්ෂ 60කට අධික මුළු මුදලක් රජයේ ඒකාබද්ධ අරමුදලට ගෙවන ලෙස අධිකරණය නියෝග කළේය. එයින් ලක්ෂ 16කට ආසන්න මුදලක් මාසයක් ඇතුළතත්, ඉතිරි ලක්ෂ 50ක මුදල මාස දෙකක් ඇතුළතත් ගෙවිය යුතු බවට නියම කෙරිණි. මීට අමතරව සිළුමිණ, සන්ඩේ ඔබ්සර්වර් සහ සතිඅග තිනකරන් යන පුවත්පත්වල මුල් පිටුවේ සමාව ඉල්ලීමේ නිවේදනය පළ කිරීමට ද නියෝග ලැබුණි.
මීට සමගාමීව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණයේ ද ඔහුට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබූ අතර, 2024 අගෝස්තු 27 වැනිදා දූෂණය නමැති වරද සිදුකිරීමට අදාළ එම චෝදනා හතරටම ඒ.එච්.එම්. ෆවුසි වරද පිළිගත්තේය. එහිදී මහාධිකරණය ඔහුට වසර 10කට අත්හිටුවන ලද වසර 2ක සිරදඬුවමක් සහ රුපියල් 400,000ක දඩයක් ද නියම කළේය. අපරාධ නඩුවකින් දඬුවම් නියම කර ඇති බැවින් මූලික අයිතිවාසිකම් නඩුවක් පවත්වාගෙන යා නොහැකි බවට වගඋත්තරකාර පාර්ශ්වය ගෙන ආ තර්කය ප්රතික්ෂේප කළ ශ්රේෂ්ඨාධිකරණය පෙන්වා දුන්නේ, අපරාධ වගකීමෙන් පුද්ගලයකුගේ වරදකාරිභාවය තීරණය වුවද මූලික අයිතිවාසිකම් මඟින් විධායකයේ හෝ පරිපාලනයේ ක්රියාවන්හි ආණ්ඩුක්රම ව්යවස්ථානුකූල වගවීම තීරණය වන බවයි.
පාර්ලිමේන්තු මන්ත්රීවරයකු සහ ඇමැතිවරයකු ලෙස දිවුරුම් දීම හුදු චාරිත්රයකට සීමා නොවන බවත්, එය ජනතාව සහ පාලකයා අතර ඇති සමාජ සම්මුතියේ ව්යවස්ථාපිත ප්රකාශනයක් බවත් ශ්රේෂ්ඨාධිකරණය සිය තීන්දුව මඟින් දැඩිව අවධාරණය කළේය. එකී දිවුරුම සහ වගකීම කඩකිරීම ජනරජයට සහ ජනතාවගේ පරමාධිපත්යයට කරන ලද හානියක් බව පෙන්වා දුන් අධිකරණය, රාජ්ය සම්පත්වල සෑම සතයක්ම මහජන යහපත සඳහාම ඉතා පරිස්සමින් භාවිත කිරීමට පාලකයන් බැඳී සිටින බව සමාජයට යළිත් වරක් සිහිපත් කර දී තිබේ.