ගල්ගමුව, සියඹලන්ගමුව ප්රදේශයේදී අවාසනාවන්ත ලෙස මියගිය ‘කාවන්තිස්ස’ ඇතාගේ ඛේදවාචකයත් සමඟ, වන අලි සුබසාධනය සම්බන්ධයෙන් නව පියවරක් ගැනීමට බලධාරීන්ගේ අවධානය යොමු වී තිබේ. ඒ අනුව, අලි ඇතුන් අසනීප වූ අවස්ථාවලදී ඔවුන් සිටින ස්ථානයටම ගොස් ක්ෂේත්රයේදීම කඩිනම් ප්රතිචාර දැක්වීම සඳහා විශේෂ පශු වෛද්ය ඒකකයක් ස්ථාපිත කිරීමට මේ වන විට යෝජනා වී ඇත.
මෙම තීරණාත්මක යෝජනාව පිළිබඳව සාකච්ඡාවට බඳුන් වූයේ, කාවන්තිස්ස ඇතාගේ මරණය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට සහ ඇතුන් සුරැකීමේ ජාතික වැඩසටහනක් වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් පත් කරන ලද විශේෂඥ කමිටුව ඊයේ (21 වැනිදා) පෙරවරුවේ පළමු වරට රැස්වූ අවස්ථාවේදීය. ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානී ප්රභාත් චන්ද්රකීර්ති මහතාගේ ප්රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්විණි.
එහිදී කාවන්තිස්ස ඇතාගේ මරණයට සැබෑ හේතුව කුමක්ද යන්නත්, සතාට සිදුව ඇති හානියේ ස්වභාවය පිළිබඳවත් කමිටුවේ දැඩි අවධානයට ලක් විය. මීට අමතරව, මෙම ඛේදනීය සිදුවීමේදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව දැක්වූ මැදිහත්වීම කෙබඳුද යන්න සම්බන්ධයෙන් ද මෙහිදී දීර්ඝ ලෙස සමාලෝචනය කර තිබේ.
ජනාධිපතිවරයා විසින් මෙම විශේෂඥ කමිටුව වෙත ප්රධාන වගකීම් කිහිපයක් පවරා ඇත. කාවන්තිස්ස ඇතාගේ මරණයට අදාළ සියලු කරුණු පුළුල් ලෙස විමර්ශනය කිරීමට අමතරව, වන අලි සුබසාධනය වෙනුවෙන් විධිමත් සම්මත මෙහෙයුම් පටිපාටියක් සකස් කිරීම ඔවුන්ට පැවරී ඇති ප්රමුඛ කාර්යයකි. තවද, දිවයින පුරා සිටින අලි ඇතුන් සුරැකීමේ ජාතික වැඩසටහනකට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම ද මෙම කමිටුව හරහා සිදුවනු ඇත.
වනජීවී සහ නීතිමය ක්ෂේත්ර නියෝජනය කරන ප්රවීණයන් රැසකගෙන් මෙම කමිටුව සමන්විත වේ. කමිටුවේ සභාපතිවරයා ලෙස හිටපු අමාත්යාංශ ලේකම් ඒ. එච්. සරත් විජේසිංහ මහතා කටයුතු කරන අතර, ජනාධිපති අතිරේක ලේකම් ඩබ්ලිව්. ඩබ්ලිව්. හැරිසන් මහතා එහි සම්බන්ධීකාරක ලෙස කටයුතු කරයි. ඊට අමතරව, මහාචාර්ය ටී. සමින්ද ප්රනාන්දු, මහාචාර්ය පී. ජී. අනිල් පුෂ්පකුමාර, මහාචාර්ය යූ. කේ. කාලිංග පද්මලාල්, ආචාර්ය ජගත් ගුණවර්ධන සහ නීතිඥ චරක ජයරත්න යන මහත්වරුන් කමිටු සාමාජිකයන් ලෙස ඊයේ පැවති මෙම මූලික හමුවට එක්ව සිටියහ.