
රාජකාරී කටයුත්තක් නිමවා යළි සිය කාර්යාලය බලා ගමන් කරමින් සිටි රාජ්ය නිලධාරිනියකගේ ගමන එක්වරම කඩාකප්පල් වූයේ පාළු මාර්ගයකදී ඇය පසුපසින් පැමිණි යතුරුපැදියක් ඇගේ ගමන් මඟ හරස් කිරීමත් සමඟිනි. අනතුරුව කඩුවකින් පහර දී ඇය පැලඳ සිටි රන් මාලය සහ පෙන්ඩනය කොල්ලකා පලාගිය යතුරුපැදිකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා අඟුරුවාතොට පොලිසිය මේ වන විටත් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
මෙලෙස කොල්ලකරුවන්ගේ කෲර ප්රහාරයකට ලක්ව ඇත්තේ කළුතර ගල්පාත ප්රදේශයේ පදිංචි 45 හැවිරිදි විවාහක එක්දරු මවකි. මධුරාවල ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරිනියක ලෙස සේවය කරන ඇය, සිද්ධිය වූ දිනයේ සිය කාර්යාලයේ සිට මිල්ලනිය ප්රාදේශීය ලේකම් කාර්යාලය වෙත රාජකාරී කටයුත්තක් සඳහා යතුරුපැදියකින් ගොස් ඇත. එහි කටයුතු අවසන් කර යළි මධුරාවල ප්රාදේශීය ලේකම් කාර්යාලය වෙත පැමිණෙමින් සිටියදී මෙම සිද්ධියට මුහුණ දී තිබේ.
පෙරවරු 11.43 ට පමණ කෙසෙල්හේනාව පසුකර වයිගම මාර්ගය ඔස්සේ මධුරාවල දෙසට ඇය ගමන් කරමින් සිටියදී මෙම කොල්ලය සිදුව ඇත. මාර්ගයේ පාළු ස්ථානයකදී පිටුපසින් පැමිණි යතුරුපැදියක සිටි පුද්ගලයන් දෙදෙනෙකු ඇය ගමන් කළ යතුරුපැදිය හරස් කර නවත්වා ඇත. එහිදී සැකකරුවන් අත තිබූ කඩුවකින් ඇගේ පිටුපස උරහිස ප්රදේශයට පහර දී ඇති අතර, ඒ මොහොතේ ඇය පැලඳ සිටි ජැකට්ටුවෙන් සිය ගෙල ආවරණය කරගැනීමට උත්සාහ කර තිබේ.
එම අවස්ථාවේදී කොල්ලකරුවන් යළිත් කඩුවෙන් පහරදීමට උත්සාහ කර ඇත. ඉන් බියට පත් වූ ඇය ජැකට්ටුව අතහැරීමෙන් පසු ඇගේ ගෙල බැඳි රන් මාලය සහ එහි පෙන්ඩනය කොල්ලකෑමට සැකකරුවන් සමත් වී ඇති බව සඳහන් වේ. අනතුරුව කොල්ලකරුවන් එම ස්ථානයෙන් පලා ගොස් ඇත.
තමන් ගමන් කළ මාර්ගය ඔස්සේ පිටුපසින් පැමිණ අවස්ථාවක් බලා සිටි මෙම කොල්ලකරුවන්, පාළු සහ අනාරක්ෂිත ස්ථානයක රැඳී සිට මෙම කොල්ලය සිදුකරන්නට ඇතැයි පහරකෑමට ලක්වූ නිලධාරිනිය විසින් පොලිසියට කළ ප්රකාශයේ සඳහන් කර තිබේ.
කඩු ප්රහාරයෙන් තුවාල ලැබූ නිලධාරිනිය ප්රතිකාර සඳහා පළමුව හල්තොට රෝහලට ඇතුළත් කර ඇති අතර, අනතුරුව වැඩිදුර ප්රතිකාර සඳහා ඇයව හොරණ දිස්ත්රික් මහ රෝහල වෙත මාරු කර යවා ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන නොමැති අතර, අඟුරුවාතොට පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් පවතී.