
“අනේ තාත්තේ මට ආපහු නම් ගෙදර යන්න බෑ. අද සම්මන්ත්‍රණයට යන්නම ඕනෑ.යාළුවෙක් මට මැසේජ් කරලත් තිබුණා ටවුන් එකට එනවා කියලා. එයත් බලාගෙන ඇති දැං...”
මේ, සිය පියාට සමුදෙමින් දහසය හැවිරිදි පාසල් සිසුවෙකු අවසන් වරට පැවසූ වදන් ය. සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් පැවති සම්මන්ත්‍රණයකට සහභාගි වීම සඳහා පසුගිය 25 වැනිදා උදෑසන නිවසින් පිටත්ව ගිය ඒ සිසුවා යළි නිවසට පැමිණියේ නැත. ඊට පසුදින ඔහුගේ නිසල සිරුර සොයාගනු ලැබුවේ කිසිවෙකුත් නොසිතූ අයුරින් මොරටුව මුහුදු වෙරළට ගොඩගසා තිබියදීය.
මෙසේ අබිරහස් ලෙස මියගොස් ඇත්තේ මිල්ලෑව, මඩුගහවත්ත, දඹර ප්‍රදේශයේ පදිංචිව සිටි, හොරණ ප්‍රදේශයේ ප්‍රධාන පාසලක අධ්‍යාපනය ලබමින් සිටි මියුරු නිම්සර නැමැති සිසුවෙකි. මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට සූදානමින් සිටි ඔහු, හොරණ නගරයේ පෞද්ගලික ආයතනයක පැවති සිංහල සම්මන්ත්‍රණයක් සඳහා එදින උදෑසන 8.00ට පමණ නිවසින් පිටත්ව ගොස් තිබුණේ මහ වැසි මැද ය.
එදින පෝය දිනයක් වූ බැවින් පාදුක්ක - මළගල පාරේ බස් රථ ධාවනය අඩුවෙන් සිදුවිය. සිය පුතු බස් රථයක් නොමැතිව හන්දියේ රැඳී සිටිනු දුටු පියා, දැඩි වර්ෂාව හේතුවෙන් යළි නිවසට යමු දැයි යෝජනා කළ ද, සම්මන්ත්‍රණයට යා යුතුම බවටත් මිතුරෙකු නගරයේ බලා සිටින බවටත් සිසුවා පවසා තිබේ. ඒ අනුව පියා විසින් ඔහුව හොරණ දෙසට බස් රථ ඇති පුහුවල හන්දියට ගෙන ගොස් බස්සවා ඇත. පෙරවරු 9.00ට පමණ සිසුවාගේ නැන්දණියක දුරකතනයෙන් කතා කළ අවස්ථාවේ තමන් හොරණ නගරයේ සිටින බව ඔහු පවසා තිබුණි. එහෙත්, පෙරවරු 10.30ට පමණ පියා දුරකතන ඇමතුමක් ගත් විට එය නාද වී ඇති නමුත් කිසිවෙකුත් පිළිතුරු දී නැත. ඉන් අනතුරුව දුරකතනය සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ.
සවස වනතුරුත් පුතු නිවසට නොපැමිණි බැවින්, දැඩි වර්ෂාව ද නොතකා පියා හොරණ නගරයට පැමිණ රාත්‍රී 7.00 පමණ වනතෙක් සෑම තැනකම ඔහුව සෙව්වේය. ඉන්පසු සෙසු පවුලේ සාමාජිකයන් මෙන්ම සිසුවාගේ මිතුරන් දෙදෙනෙකුගේ පියවරුන් දෙදෙනෙකු ද එක්ව සෙවීම් කළ ද කිසිදු තොරතුරක් නොලැබුණු තැන, රාත්‍රී 9.00ට පමණ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කෙරිණි. පසුදින උදෑසන පොලිසියේ රැඳී සිටියදී, මොරටුව වෙරළෙන් හමුවූ මළසිරුරක ඡායාරූපයක් ජංගම දුරකතනයකට ලැබී තිබෙනු දුටු පියාට ඒ තම බාල පුතුගේ සිරුර බව හඳුනාගැනීමට හැකි විය. පුද්ගලයෙකු විසින් 119 අංකයට දුන් තොරතුරකට අනුව සොයාගත් නාඳුනන සිරුරක් ලෙස කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබියදී පියා පැමිණ සිරුර නිල වශයෙන් හඳුනාගත්තේය.
නිවාඩු ලබා සිටින පොලිස් නිලධාරියෙකු වන, 50 හැවිරිදි මංජුල ප්‍රියදර්ශන වීරකෝන් මහතා සිය පුතුගේ මරණය සම්බන්ධයෙන් මතුකරන්නේ දැඩි සැකයකි. "පුතාගේ නහයෙන් ලේ ඇවිත් තිබුණා. අතපය හීරිලා තිබුණා. එදා උදේ ගෙනිච්ච පුතාගේ බෑග් එක, ෆෝන් එක, පර්ස් එක මොකුත් තිබුණේ නැහැ. ලේන්සුවක් විතරයි සාක්කුවේ තිබුණේ. ඔහු ඇඳගෙන සිටි ඇඳුම් පිටින්මයි සිරුර හමුවුණේ," ඔහු පවසයි.
සිසුවා අතුරුදන් වූ දින ඔහු අදාළ සම්මන්ත්‍රණයට සහභාගි වී නොමැති බව ගුරුවරයා තහවුරු කර තිබේ. එම පන්තිය දහවල් 12.00ට අවසන් වී ඇත. සිසුවා නගරයේ සිටිනු දුටු බවට ඇතැම් ළමුන් පැවසුව ද එය ස්ථිර තොරතුරක් නොවීය. කෙසේ වෙතත්, එක් දැරියක පවසා තිබුණේ එදින සවස 4.00ට පමණ සිසුවා ඉංගිරිය බස් රථයකට ගොඩවී තමාට ඉදිරිපස අසුනේ වාඩි වී ඉංගිරියට ටිකට් පතක් ලබාගත් බවයි. උදෑසන නගරයේ සිටියදී ඔහුගේ මුහුණේ කිසියම් දුක්බර ස්වභාවයක් තිබූ බවත්, ඔහු පෝරුවදණ්ඩ හන්දියෙන් බස් රථයෙන් බැසගිය බවත් ඇය පවසා ඇත. එහෙත් පියා විසින් අදාළ කාලවේලාවේ බස් රථ තුනක පමණ සීසීටීවී කැමරා දර්ශන පරීක්ෂා කළ ද, සිය පුතු ඉන් බැසයන අයුරු කිසිදු කැමරාවක සටහන්ව තිබී නැත.
මේ අබිරහස් මරණය පවුලේ සාමාජිකයන්ට කිසිසේත්ම අදහාගත නොහැක්කකි. කොළඹ පෞද්ගලික රෝහලක හෙදියක ලෙස සේවය කරන මව එදින රාජකාරියට ගොස් සිටියාය. විසි හැවිරිදි වැඩිමහල් සොහොයුරු මතිෂ සත්සර පෞද්ගලික විශ්වවිද්‍යාලයක කළමනාකරණ පීඨයේ පළමු වසරේ ඉගෙනුම ලබයි. පියා පවසන පරිදි මියගිය සිසුවා කිසිදු දඟකාරකමක් නොමැති, මවට සහ පියාට දැඩි සේ ආදරය කළ කීකරු දරුවෙකි. නිවසේ කිසිදු ප්‍රශ්නයක් හෝ ගැටලුවක් ඔහුට තිබී නැත. මෑතකදී නව නිවසකට පදිංචියට යාම පිළිබඳව ද ඔහු සිටියේ මහත් සතුටිනි.
හොරණින් බස් රථයකට නැගුණු බව කියන තම පුතුගේ සිරුර කිසිදු හේතුවක් නොමැතිව මොරටුව මුහුදු වෙරළෙන් හමුවීම සම්බන්ධයෙන් පවුලේ ඥාතීහු යුක්තිය සොයමින් සිටිති. "පුතා මේ විදිහට මොරටුවෙන් මුණගැහෙන්න විදිහක් කොහෙත්ම ඇත්තේ නැහැ. මේ ගැන අපි උසාවි නියෝගයක් ගන්නවා. පුතාට මේ සිද්ධ වුණේ මොකක්ද කියලා අපිට හරියට තොරතුරු දැනගන්න ඕනෑ," යැයි පියා පවසයි. සිසුවාගේ මරණය සම්බන්ධයෙන් මොරටුව පොලිසිය මඟින් මේ වන විට වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.