පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය වැලිකඩ බන්ධනාගාරය තුළදී බලහත්කාරයෙන් ඉවත් කරන අයුරු ජංගම දුරකථනයක් හරහා වෙනත් ස්ථානයක සිටි 'බලවත් පුද්ගලයෙකු' විසින් සජීවීව නිරීක්ෂණය කර ඇති බවට පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා බරපතළ චෝදනාවක් එල්ල කරයි. අද (12) කොළඹදී පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ, අදාළ සිදුවීම ජාතික ජන බලවේගයේ ඉහළ නායකයන්ගේ දැඩි බලපෑම මත සිදුවූවක් බවයි.
පසුගිය ඔක්තෝබර් 08 වැනිදා ඥානසාර හිමියන්ගේ ඉල්ලීමකට අනුව තමන් වැලිකඩ බන්ධනාගාරයට ගිය බවත්, එහිදී මෙම සිදුවීම උන්වහන්සේ තමන්ට විස්තර කළ බවත් ගම්මන්පිල මහතා පැවසීය. ඔහුගේ ප්‍රකාශයට අනුව, බන්ධනාගාර නිලධාරීන් විශාල පිරිසක් එක්ව උන්වහන්සේට ජම්පරයක් ඇන්දවීමට උත්සාහ කර ඇති අතර, එහිදී එක් නිලධාරියෙකු සිය ජංගම දුරකථනයේ කැමරාව ක්‍රියාත්මක කරගෙන මෙම බලහත්කාරී ක්‍රියාවලිය අධීක්ෂණය කිරීමට බාහිර පාර්ශ්වයකට අවස්ථාව සලසා දී තිබේ. කැමරාව ක්‍රියාත්මක වීම හරහා නිලධාරීන් යම් දැවැන්ත පීඩනයකට ලක්ව ඇති බව තේරුම් ගත් ඥානසාර හිමියන්, නිලධාරීන්ගේ අසරණභාවයට පිහිට වීමේ අරමුණින් තමන් දරා සිටි චීවරය තමන් විසින්ම ඉවත් කිරීමට තීරණය කර ඇත.
එම අවස්ථාව ඥානසාර හිමියන්ට දැඩි මානසික කම්පනයක් ගෙන දුන් බව ගම්මන්පිල මහතා අවධාරණය කළේය. භික්ෂුත්වයේ අවසන් සලකුණ ලෙස සැලකෙන අඳනකඩය ඉවත් කර අතට ගත් මොහොතේ උන්වහන්සේ දැඩි ලෙස කම්පාවට පත්ව සිටි බවත්, නිලධාරීන් එය භාරගැනීමට අත් දිගු කළ විට ඇතිවූ කම්පනය නිසාම උන්වහන්සේ එය ඉහළට විසි කර ඇති බවත් ඔහු පැවසීය. එම අඳනකඩය ඒ මොහොතේ ක්‍රියාත්මක වෙමින් තිබූ විදුලි පංකාවක රැඳී තිබුණු බව ද ඔහු මාධ්‍ය හමුවේදී අනාවරණය කළේය.
2010, 2016 සහ 2018 යන වසරවලදීද මෙලෙස ජම්පරය ඇන්දවීමට නිලධාරීන් උත්සාහ කර තිබුණද, ඥානසාර හිමියන්ගේ විරෝධය හමුවේ ඔවුන් එම උත්සාහය අත්හැර දමා තිබිණි. එහෙත් මෙවර නිලධාරීන් ඊට වෙනස්ව කටයුතු කර ඇත්තේ ඉහළින් ආ බලපෑම නිසා බව ගම්මන්පිල මහතාගේ අදහසයි. එසේ වුවද, “මාව සිරගත කිරීමෙන් හා චීවරය ගලවා ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කිරීමෙන් හෝ නිදාගෙන සිටින බෞද්ධ සමාජය අවදි වී ශාසනය රැකගැනීමට පෙළගැසෙන්නේ නම්, මා මේ ඕනෑම දුෂ්කරතාවක් දරාගැනීමට සූදානම්” යැයි ඥානසාර හිමියන් තමන් සමඟ පැවසූ බව ඔහු ප්‍රකාශ කළේය.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත වසර දහනවයක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් වසර හයකින් ගෙවී යන පරිදි ඥානසාර හිමියන්ට නියම වී ඇති පසුබිමක, මෙම සිදුවීම සම්බන්ධයෙන් රජයේ පාර්ශ්වය දක්වන ප්‍රතිචාරය ද ගම්මන්පිල මහතාගේ දැඩි විවේචනයට ලක්විය. විශේෂයෙන්ම නීතිය සැමට සමාන බව පවසමින් ජනාධිපතිවරයා මහානායක හිමිවරුන් හමුවේ අසත්‍ය ප්‍රකාශ කර ඇති බවට ඔහු චෝදනා කළේය. 1894 වසරේ සිට ක්‍රියාත්මක බන්ධනාගාර නිත්‍ය නියෝග 550 වගන්තියට අනුව සහ 1947 රජු එදිරිව ස්ටීවන් නඩු තීන්දුවට අනුව, සිරකරුවෙකු බන්ධනාගාරයෙන් පිටතට ගෙන යන විට ඔහුගේ සාමාන්‍ය ඇඳුමෙන් ගෙන යා යුතු බවත්, භික්ෂුවකගේ සාමාන්‍ය ඇඳුම චීවරය වන බැවින් මෙය බන්ධනාගාර නීති අමු අමුවේ උල්ලංඝනය කිරීමක් බවත් ඔහු පෙන්වා දුන්නේය.
බන්ධනාගාරය තුළ දැනටමත් භික්ෂූන් වහන්සේලා හැටතුන් නමක් සිරදඬුවම් විඳින බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය ද ගම්මන්පිල මහතා මෙහිදී අභියෝගයට ලක් කළේය. විනය පිටකයේ පාරාජිකා පාලියට අනුව මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ හෝ සොරකම් වැනි අපරාධවලට වරදකරුවන් වූ වහාම ඔවුන්ගේ භික්ෂුත්වය අහෝසි වන බව පෙන්වා දුන් ඔහු, රජය උත්සාහ කරන්නේ එලෙස භික්ෂුත්වය අහිමි වූ පුද්ගලයන්ට චීවරය අන්දවා ප්‍රදර්ශනය කිරීමෙන් සමස්ත ශාසනයම හැල්ලුවට ලක් කිරීමට බවට චෝදනා කළේය. එසේම බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට පැයකින් වෙනස් කළ හැකි නිත්‍ය නියෝගයක් වෙනස් කිරීමට සති දෙකක කාලයක් ඉල්ලා කමිටු පත් කිරීම, එළඹෙන ඔක්තෝබර් 23 වැනිදා යළිත් ඥානසාර හිමියන් ගිහි වෙස් ගන්වා අධිකරණයට ගෙන ඒමේ ආණ්ඩුවේ කාලය මරා දැමීමේ උපායක් දැයි ඔහු ප්‍රශ්න කළේය.
ජනාධිපතිවරයා මහානායක හිමිවරුන් සමග පැවැත්වූ සාකච්ඡාවේ සමස්තයම ජනමාධ්‍යවලට නිකුත් නොකර, එහි කොටස් පමණක් නිකුත් කිරීම හරහා සංඝ භේදයක් ඇති කිරීමට ආණ්ඩුව උත්සාහ කරන බවද ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය. මෙම සමස්ත ක්‍රියාවලියට එරෙහිව ජාති, ආගම් භේදයකින් තොරව සියලු ජනතාවට තම විරෝධය පළ කරන ලෙසත්, සමාජ මාධ්‍ය ගිණුම්වල හැඳුනුම් රුව කළු කොඩියක් බවට පත් කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය. ඥානසාර හිමියන්ගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති මෙම ආන්දෝලනාත්මක තත්ත්වය හමුවේ, බෞද්ධ සමාජයේ මතුවන විරෝධය ආණ්ඩුවට තවමත් නිසි ලෙස දැනී නොමැති බව අවධාරණය කරමින් ඔහු සිය අදහස් දැක්වීම නිමා කළේය.
