expert-committee-to-investigate-kavantissas-death

'කාවන්තිස්ස' හස්තියාගේ අකල් වියෝව හුදු එක් සද්දන්තයෙකුගේ නික්මයාමක් පමණක් නොව, සමස්ත අලි සම්පත රැකගැනීම වෙනුවෙන් පුළුල් පියවරක් තැබීමට රාජ්‍ය මට්ටමින් අවධානය යොමු කළ සංවේදී සිදුවීමක් බවට පත්ව තිබේ. ඛේදනීය ලෙස මියගිය කාවන්තිස්සගේ මරණය සම්බන්ධයෙන් සියලු කරුණු විමර්ශනය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මේ වන විට විශේෂඥ කමිටුවක් පත් කරනු ලැබ ඇත.




මෙම කමිටුවට පැවරී ඇති වගකීම හුදෙක් මරණයට හේතුව සෙවීමෙන් ඔබ්බට විහිදෙන්නකි. කාවන්තිස්සගේ මරණය සිදුවූ ආකාරය, ඊට බලපෑ ආසන්න මෙන්ම වක්‍ර හේතු සාධක කවරේද යන්නත්, සතාට ප්‍රතිකාර කිරීමේදී යම් අතපසුවීමක් හෝ නොසැලකිලිමත්කමක් සිදුවී ඇත්ද යන්නත් නිශ්චිතවම සොයා බැලීම ඔවුන්ගේ මූලික කර්තව්‍යයකි.

මීට අමතරව, වන අලි සුබසාධනය සඳහා විධිමත් සම්මත මෙහෙයුම් පටිපාටියක් සකස් කිරීමේ භාරදූර කාර්යයද මෙම විශේෂඥ මණ්ඩලයට පැවරී ඇත. එමෙන්ම, ඇතුන් සුරැකීමේ ජාතික වැඩසටහනක් උදෙසා අදාළ නිර්දේශ සම්පාදනය කිරීමද ඔවුන්ගේ විෂය පථයට අයත් වේ.




ජනාධිපතිවරයා විසින් පත් කරන ලද මෙම කමිටුවට සභාපතිත්වය සපයනු ලබන්නේ හිටපු අමාත්‍යාංශ ලේකම් ඒ.එච්. සරත් විජේසිංහ මහතා විසිනි. මහාචාර්ය ටී. සමින්ද ප්‍රනාන්දු, මහාචාර්ය ඒ.ජී. අනිල් පුෂ්ප කුමාර, මහාචාර්ය යූ. කේ. කාලිංග පද්මලාල්, ආචාර්ය ජගත් ගුණවර්ධන සහ නීතිඥ චරක ජයරත්න යන මහත්වරු මෙහි සෙසු සාමාජිකයන් ලෙස කටයුතු කරති. ජනාධිපති අතිරේක ලේකම් ඩබ්ලිව්. ඩබ්ලිව්. හැරිසන් මහතා කමිටුවේ සම්බන්ධීකාරකවරයා ලෙස කටයුතු කරනු ඇත.

මෙම පුළුල් කාර්යභාරය ඉටු කිරීමේදී දේශීය මෙන්ම විදේශීය විශේෂඥයන්ගේ සහාය ලබා ගැනීමටද කමිටුවට පූර්ණ බලය ලබා දී තිබේ. ඒ අනුව, කාවන්තිස්සගේ මරණයට අදාළ අවසන් විමර්ශන වාර්තාව, යෝජිත වන අලි සුබසාධන සම්මත මෙහෙයුම් පටිපාටි රාමුව සහ ඇතුන් සුරැකීමේ ජාතික වැඩසටහනකට අදාළ යෝජනාවලිය ඇතුළත් සම්පූර්ණ වාර්තාව දින 30ක් ඇතුළත ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.