කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය විසින් ලබාදුන් විශේෂ නියෝගයක් හමුවේ, ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ගාලු පාර ආසන්නයේ ඉදිකර තිබූ තාවකාලික අට්ටාල ගලවා ඉවත් කරගැනීමට එහි සත්යග්රහයේ නිරතව සිටි පිරිස් කටයුතු කර තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්රය අධි ආරක්ෂිත කලාපයක් වන බැවින්, ඊට ඉදිරිපසින් විරෝධතාවල නිරත වීමට ඉඩ නොදෙන ලෙස පොලිසිය විසින් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණි. ඊට ප්රතිචාර දක්වමින් කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කරන ලද අතර, එම අධිකරණ නියෝගය රැගෙන ආ පොලිස් නිලධාරීන් විසින් එය විරෝධතාවයේ නිරතව සිටි භික්ෂූන් වහන්සේලාට කියවා භාරදීමට ද පියවර ගෙන තිබේ.
මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් සංවිධානය කෙරුණු මෙම විරෝධතාව හැඳින්වුණේ ‘සිවුරට යුක්තිය – නිදහසේ පා ගමන’ යනුවෙනි. පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස බලකරමින් ඊයේ දිනයේ සිට භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාර්ගයේ රැඳී සිටිමින් මෙම සත්යග්රහයේ නිරත වූහ.
කෙසේ වෙතත්, පොලිසිය මගින් කියවා භාරදුන් අධිකරණ නියෝගයත් සමග ක්රියාත්මක වූ විරෝධතාකරුවන්, ගාලු පාර ආසන්නයේ ඉදිකර තිබූ සිය තාවකාලික අට්ටාල එම ස්ථානයෙන් ඉවත් කරගැනීමට කටයුතු කර ඇත.
