be-careful-about-influenza-these-days-as-if-one-person-gets-it-the-whole-family-gets-it

මේ දිනවල ශ්‍රී ලංකාව පුරා ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ ශීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබෙන අතර, එක් අයෙකුගෙන් ආරම්භ වී මුළු පවුලම රෝගාතුර වන තත්ත්වයක් සෞඛ්‍ය අංශ විසින් නිරීක්ෂණය කර තිබේ. විශේෂයෙන්ම කුඩා දරුවන්ගේ රෝග ලක්ෂණ උග්‍ර වන්නේ නම්, නිවෙස්වලට වී කල් නොමරා වහාම වෛද්‍ය උපදෙස් ලබාගැනීමේ වැදගත්කම දෙමාපියන්ට දැඩිව අවධාරණය කෙරේ.




මාරවිල මූලික රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය මහේෂක විජයවර්ධන මහතා පෙන්වා දෙන පරිදි, ශ්‍රී ලංකාව තුළ ඉන්ෆ්ලුවෙන්සා රෝගය ප්‍රධාන වශයෙන් හිස ඔසවන්නේ අප්‍රේල් සිට ජූනි දක්වාත්, නොවැම්බර් සිට ජනවාරි දක්වාත් ය. පාසල්, පෙරපාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන වැනි දරුවන් එක්රැස් වන ස්ථාන හරහා මෙම වෛරසය ඉතා වේගයෙන් පැතිර යන අතර, මේ වන විට මුළු පවුල් පිටින්ම රෝගයට ගොදුරු වූ දරුවන් විශාල පිරිසක් වාර්තා වෙමින් පවතී.

සාමාන්‍ය ව්‍යවහාරයේදී ‘ෆ්ලූ’ (Flu) ලෙස හැඳින්වෙන මෙම තත්ත්වය ඉන්ෆ්ලුවෙන්සා A සහ B වෛරස මගින් හටගන්නකි. ආසාදිතයෙකු කහින විට, කිවිසුම් අරින විට හෝ කතා කරන විට පිටවන ශ්වසන බිංදු මගින් මෙය තවත් අයෙකුට ශරීරගත වේ. වෛරසයට නිරාවරණය වී දින එකත් හතරත් අතර කාලයක් තුළ තද උණ, සොටු දියර ගැලීම, කැස්ස, උගුරේ කැක්කුම, හිසරදය, ඇඟපත වේදනාව සහ අධික මහන්සිය වැනි ලක්ෂණ හදිසියේම මතු විය හැකිය. මීට අමතරව දරුවන්ට කෑම අරුචිය, වමනය හෝ පාචනය වැනි තත්ත්වයන්ද ඇතිවීමේ අවදානමක් පවතී.




බොහෝ දරුවන් සතියක් ඇතුළත සම්පූර්ණයෙන්ම සුවය ලැබුවද, වයස අවුරුදු දෙකට අඩු කුඩා දරුවන්, සිරුරේ ප්‍රතිශක්තිය අඩු දරුවන් සහ දීර්ඝකාලීන රෝගවලින් පෙළෙන දරුවන් මෙහිදී දැඩි අවදානමකට ලක්වේ. ඇතැම් විට මෙම වෛරසය නියුමෝනියාව වැනි සංකූලතා දක්වා වර්ධනය විය හැකි අතර, ඉතා කලාතුරකින් මොළයට හෝ හදවතට බලපාන බරපතල ආසාදන පවා ඇති කළ හැකි බව වෛද්‍යවරයා පෙන්වා දෙයි.

උණ සහ කැස්ස ඇති වූ පමණින් සෑම දරුවෙකුටම වැළඳී ඇත්තේ ඉන්ෆ්ලුවෙන්සා යැයි දෙමාපියන් විසින්ම නිගමනය නොකළ යුතු බවට විශේෂඥ වෛද්‍ය විජයවර්ධන මහතා අනතුරු ඇඟවීමක් කරයි. කොවිඩ්-19, ඩෙංගු සහ චිකුන්ගුන්යා වැනි වෙනත් බරපතල රෝගවලදීද මෙවැනිම මූලික ලක්ෂණ පෙන්නුම් කළ හැකි බැවිනි. විශේෂයෙන්ම ඩෙංගු රෝගයේදී උණ බැස යන අවස්ථාව දරුවාගේ තත්ත්වය අතිශය අවදානම් අඩවියකට ගෙන යා හැකිය. එබැවින් දරුවාගේ උණ බැස යාමෙන් පමණක් රෝගය සුව වූ බව නොසිතා, දරුවාගේ සමස්ත ශාරීරික ක්‍රියාකාරිත්වය පිළිබඳව දැඩි අවධානයෙන් සිටීම අතිශයින් වැදගත් වේ. තද බඩේ කැක්කුම, නොනවත්වා වමනය යාම, ලේ ගැලීම, අධික නිදිමත ගතිය, අත්පා සීතල වීම හෝ ශ්වසන අපහසුතා ඇත්නම් ඒ මොහොතේම වෛද්‍ය ප්‍රතිකාර කරා යොමු විය යුතුය.



ඉන්ෆ්ලුවෙන්සා රෝගයේදී වුවද දරුවෙකුට හුස්ම ගැනීමේ අපහසුව, පපුව ඇතුලට පෑගීම, මන්දගාමී බව, වලිප්පුව, තොල් නිල් පැහැ වීම, නොනවත්වා වමනය යාම, දියර වර්ග පානය කිරීමට නොහැකි වීම සහ මුත්‍රා පිටවීම අඩුවීම වැනි ලක්ෂණ මතු වුවහොත් එය හදිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාදිය යුතු තත්ත්වයකි.

සුළු වශයෙන් රෝගය වැළඳී ඇති නිරෝගී දරුවන්ට නිවසේදී ප්‍රමාණවත් විවේකය ලබා දීම, දියර වර්ග පානයට දීම සහ පෝෂ්‍යදායී ආහාර ලබා දීම ප්‍රමාණවත් වේ. උණ සඳහා දරුවාගේ බරට සරිලන පරිදි පැරසිටමෝල් ලබා දිය හැකි වුවද, ෆ්ලූ රෝග ලක්ෂණ ඇති දරුවන්ට ‘ඇස්පිරින්’ ඖෂධය කිසිසේත්ම ලබා නොදිය යුතුය. මෙය වෛරස් ආසාදනයක් වන බැවින් ප්‍රතිජීවක (Antibiotics) මගින් රෝගය සුව කළ නොහැක. එහෙත් බරපතල තත්ත්වයේ පසුවන හෝ සංකූලතා අවදානම වැඩි දරුවන්ට වෛද්‍ය උපදෙස් මත ‘ඔසෙල්ටමිවිර්’ (oseltamivir) වැනි වෛරස් නාශක ඖෂධ ලබා දීමට කටයුතු කෙරේ.

රෝගය තවදුරටත් පැතිරීම පාලනය කිරීම සඳහා, උණ හෝ ශ්වසන පද්ධතියේ රෝග ලක්ෂණ ඇති දරුවන් සම්පූර්ණයෙන්ම සුව වන තෙක් පාසල් නොයවා නිවසේ තබා ගැනීමට දෙමාපියන් වගබලා ගත යුතුය. නිතර අත් සේදීම, කැසීමේදී සහ කිවිසුම් ඇරීමේදී මුඛය සහ නාසය ආවරණය කිරීම, හොඳින් වාතාශ්‍රය ලැබීමට සැලැස්වීම, රෝගීන්ගෙන් ඈත්ව සිටීම මෙන්ම වතුර බෝතල් හෝ පෞද්ගලික ද්‍රව්‍ය හුවමාරු කර නොගැනීම මෙහිදී අතිශය වැදගත් වේ. මීට අමතරව, වාර්ෂික ඉන්ෆ්ලුවෙන්සා එන්නත ශ්‍රී ලංකාවේ පෞද්ගලික සෞඛ්‍ය අංශය හරහා ලබාගත හැකි අතර, එමගින් රෝග අවදානම සහ සංකූලතා අවම කරගත හැකි බැවින් ඒ පිළිබඳව වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබාගැනීම වඩාත් යෝග්‍ය බව වෛද්‍යවරුන්ගේ නිර්දේශයයි.