gas-shortage-in-the-market-again

පසුගිය ආර්ථික අර්බුද සමයේ ජනතාව දැඩි ලෙස පීඩාවට පත් කළ ගෑස් පෝලිම්වල අමිහිරි මතකය යළිත් අවදි කරමින්, මේ දිනවල දිවයින පුරා නැවත වරක් ගෘහස්ථ ගෑස් හිඟයක් නිර්මාණය වී තිබේ. වෙළෙඳපොළ තුළ ප්‍රමාණවත් පරිදි ගෑස් සිලින්ඩර නොමැති වීම හේතුවෙන් මේ වන විටත් ප්‍රදේශ රැසක පාරිභෝගිකයන්ට ගෑස් මිලදී ගැනීම සඳහා දිගු පෝලිම්වල සිය කාලය ගත කිරීමට සිදුව ඇති අතර, එය සාමාන්‍ය ජනජීවිතයට මෙන්ම ව්‍යාපාරික කටයුතුවලට ද දැඩි බලපෑමක් එල්ල කර ඇත.




මෙම තත්ත්වයේ ආසන්නතම සහ බරපතළම ප්‍රතිඵලයක් මහනුවර නගරයෙන් වාර්තා වේ. මහනුවර නගරයේ සහ තදාසන්න නගර රැසක පවතින උග්‍ර 'ලාෆ්ස්' ගෑස් හිඟය හේතුවෙන් එම ගෑස් භාවිත කරන හෝටල් කිහිපයක්ම මේ වන විට වසා දැමීමට සිදුව ඇති බව හෝටල් හිමියෝ පවසති. කොළඹින් ගෑස් තොග ලැබුණහොත් පමණක් බෙදාහැරීම් සිදු කළ හැකි බව මහනුවර ගෑස් අලෙවි නියෝජිතයෝ සඳහන් කරති.

ගෑස් අර්බුදය දිවයිනේ ප්‍රධාන සමාගම් ද්විත්වයේම සැපයුම් ජාලයන්ට බලපා තිබේ. පාරිභෝගිකයන් පෙන්වා දෙන පරිදි කොළඹ ඇතුළු බස්නාහිර පළාතේ බොහෝ ප්‍රදේශවලට සති තුනක පමණ කාලයක සිට ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සැපයුම ඇණහිට ඇති අතර, ලිට්රෝ ගෑස් සැපයුම ද සතියක පමණ කාලයක සිට අඩාල වී පවතී. පිට පළාත්වල තත්ත්වය ඊටත් වඩා කනගාටුදායකය. මාසයකට ආසන්න කාලයක සිට වෙළෙඳපොළෙන් ලාෆ්ස් ගෑස් සම්පූර්ණයෙන්ම පාහේ අතුරුදන්ව ඇති බව එම ප්‍රදේශවල පාරිභෝගිකයෝ කියති.




පවතින තත්ත්වය හමුවේ ලාෆ්ස් ගෑස් අලෙවි නියෝජිතයන් ද දැඩි අපහසුතාවකට පත්ව සිටී. පසුගිය සති තුනක පමණ කාලය තුළ තම වෙළෙඳසැල් වෙත ප්‍රමාණවත් තොග නොලැබුණු බවත්, ඒ පිළිබඳව සමාගමෙන් විමසූ විට මෙතෙක් නිසි සහ පැහැදිලි පිළිතුරක් ලබා දීමට ඔවුන් අපොහොසත් වී ඇති බවත් අලෙවිකරුවෝ පවසති.

කෙසේ වෙතත්, සමාගම් බලධාරීන් පවසන්නේ මෙම තත්ත්වය කඩිනමින් සමනය වනු ඇති බවයි. වෙළෙඳපොළේ මතුව ඇති හිඟය සම්බන්ධයෙන් ලිට්රෝ සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහතාගෙන් ඊයේ (14) කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, පසුගිය දින දෙකක පමණ කාලය තුළ සිය සමාගමේ ගෑස් සැපයුමේ යම් හිඟයක් පැවති බවයි. එහෙත් මේ වන විට සමාගමට අවශ්‍ය නව ගෑස් තොග ලැබී ඇති බැවින් අද (15) දිනය වන විට එම හිඟය සම්පූර්ණයෙන්ම මඟහැරී ගොස් වෙළෙඳපොළ සැපයුම යථා තත්ත්වයට පත්වනු ඇතැයි ඒ මහතා විශ්වාසය පළ කළේය.



මේ අතර ලාෆ්ස් ගෑස් සමාගමේ උසස් නිලධාරියකු ද පවතින ගෑස් තොග සම්බන්ධයෙන් යම් ගැටලුකාරී තත්ත්වයක් මතු වූ බව පිළිගෙන තිබේ. ඉදිරි දින කිහිපය ඇතුළත නව ගෑස් තොග මෙරටට ලැබීමට නියමිතව ඇති බැවින් කඩිනමින් සැපයුම් ජාලය යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගන්නා බව එම නිලධාරියා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

අදාළ සමාගම් විසින් සැපයුම යථා තත්ත්වයට පත් කරන බවට එලෙස සහතික වී ඇතත්, පාරිභෝගිකයන් තවමත් සිටින්නේ දැඩි අසීරුතාවකය. අතීත අත්දැකීම් හේතුවෙන් යළිත් වරක් රට තුළ දැඩි ගෑස් පෝලිම් යුගයක් නිර්මාණය වේදැයි යන බිය සහ නොසන්සුන්තාව ජනතාව තුළ තවදුරටත් පවතී.