
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය යාවත්කාලීන කිරීමේ අරමුණින් ගෙන ආ යෝජිත නව ක්‍රිකට් පනත් කෙටුම්පත හරහා, දශක පහකට ආසන්න කාලයක් ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව පත්කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා සතුව තිබූ බලය සම්පූර්ණයෙන්ම අහෝසි වීමට නියමිතය. පසුගිය සතියේ ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන ලද මෙම පනත පාර්ලිමේන්තුවේදී සම්මත වී නීතියක් බවට පත්වූ පසු, පිරිමි සහ කාන්තා ජාතික කණ්ඩායම් වෙනුවෙන් තේරීම් කමිටු පත්කිරීමේ පූර්ණ අයිතිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත පැවරෙනු ඇත.
1973 අංක 25 දරණ ක්‍රීඩා පනත යටතේ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ලබාදෙන නාමයෝජනා අතුරින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් එක් තේරීම් කමිටුවක් නම් කිරීමේ පැරණි ක්‍රමවේදය මෙයින් සම්පූර්ණයෙන්ම වෙනස් වන අතර, මෙය රජයේ සෘජු මැදිහත්වීම ඉවත් කෙරෙන කැපී පෙනෙන වෙනසක් ලෙස සටහන් වේ.නව කෙටුම්පතේ 21(4) වගන්තියට අනුව කමිටුවක් හෝ උප කමිටුවක් සඳහා පුද්ගලයින් පත් කිරීමේ බලය ක්‍රිකට් ආයතනය සතු වන බව තහවුරු කර ඇත. එලෙස පත්කෙරෙන සාමාජිකයින් යහපත් සදාචාරාත්මක පසුබිමකින් යුක්ත විය යුතු බවත්, අදාළ විෂය සම්බන්ධයෙන් ප්‍රමාණවත් විශේෂඥ දැනුමක්, පළපුරුද්දක් සහ කුසලතාවක් සහිත පුද්ගලයින් විය යුතු බවත් 21(5) වගන්තිය මගින් අවධාරණය කරයි. ක්‍රිකට් ආයතනයේ සේවකයන් හෝ අධ්යක්ෂවරුන් නොවන බාහිර පුද්ගලයින්ට ද මෙම කමිටු නියෝජනය කිරීමේ අවස්ථාව හිමිවන අතරම, පරිපාලන තනතුරුවල නිශ්චිත පුද්ගලයින් දිගුකාලීනව රැඳී සිටීම වැළැක්වීම සඳහා සමස්ත සේවා කාලය වසර අටකට සීමා කිරීමට ද යෝජනා වී තිබේ.
තේරීම් කමිටු සාමාජිකයන් පත්කිරීමට අමතරව ඔවුන් ක්‍රියාත්මක විය යුතු රාමුව තීරණය කිරීමේ අයිතිය ද ක්‍රිකට් ආයතනය සතුවීම මෙහි ඇති තවත් සුවිශේෂී තත්ත්වයකි. කෙටුම්පතේ 21(7) සහ 21(8) වගන්ති මගින් දැක්වෙන්නේ තේරීම් කමිටුවේ බලතල, කාර්යභාරය, සංයුතිය සහ වාර්තා කිරීමේ වගකීම් ඇතුළත් ලිඛිත විධානාවලිය ක්‍රිකට් ආයතනය විසින් අනුමත කළ යුතු බවයි. එසේ වුවද, 21(10) වගන්තිය මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාට සහ ප්‍රධාන විධායක නිලධාරියාට තේරීම් කමිටු රැස්වීම් සඳහා නිල බලයෙන් සහභාගී වීමට ඉඩ සලසා තිබුණද, ඔවුන්ට එහිදී ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය අහිමි කර තිබේ. පෙර පැවති ක්‍රමවේදය යටතේ මෙලෙස සහභාගී වීමේ අවස්ථාව හිමිව තිබුණේ ඡන්ද බලය රහිතව ක්‍රිකට් ලේකම්වරයාට පමණි.
දේශපාලන මැදිහත්වීම් ඉවත් කිරීමේ අරමුණින් තේරීම් කමිටු නිලධාරින් පත් කිරීමේ බලය අමාත්‍යවරයාගෙන් ඉවත් කර ක්‍රිකට් ආයතනයට ලබා දුන්නද, එම කමිටුව ක්‍රිකට් ආයතනයෙන් කෙතරම් දුරට ස්වාධීන වන්නේද යන්න පිළිබඳව නව පනත් කෙටුම්පතේ පැහැදිලිව අන්තර්ගත වී නොමැත. එසේම, සාමාජිකයින් තෝරාගැනීමේ සවිස්තරාත්මක ක්‍රියාපටිපාටිය පනතේ සෘජුවම දක්වා නොමැති අතර, 47(4) වගන්තියට අනුව එම ක්‍රමවේදය සකස් කිරීමේ වගකීම වත්මන් ක්‍රිකට් පරිවර්තන කමිටුව විසින් සකසනු ලබන නීති රීති වෙත පවරා ඇත. තවද, තේරීම් කමිටු සාමාජිකයින් නම් කිරීමට වෙනම ස්වාධීන මණ්ඩලයක් පිහිටුවීම සම්බන්ධයෙන් හෝ පත්කළ සාමාජිකයින්ව ධුරයෙන් ඉවත් කළ හැකි අවස්ථා පිළිබඳව ද මෙම කෙටුම්පත තුළ මෙතෙක් කිසිදු විධිවිධානයක් සලසා නොමැත.