දිට්වා සුළි කුණාටුව හේතුවෙන් විනාශයට පත් වූ මෙරට මාර්ග පද්ධතිය යළි ප්‍රකෘතිමත් කිරීම සඳහා ලෝක බැංකුව විසින් අමෙරිකානු ඩොලර් කෝටි 11ක මූල්‍ය ප්‍රතිපාදනයක් අනුමත කර තිබේ. මෙම නව ආයෝජනය හරහා දිවයින පුරා දැඩි ලෙස හානියට ලක්වූ මාර්ග කිලෝමීටර් 600ක් පමණ කඩිනමින් අලුත්වැඩියා කර ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.
ආපදාවෙන් වඩාත් බරපතළ බලපෑමක් එල්ල වූ ප්‍රදේශවල ජනතාවට තම දෛනික අවශ්‍යතා සපුරා ගැනීම වෙනුවෙන් වෙළෙඳපොළ, පාසල් මෙන්ම සෞඛ්‍ය මධ්‍යස්ථාන වෙත ප්‍රවේශ වීමට පහසුකම් සලසන ප්‍රධාන හා අතුරු මාර්ග සඳහා මෙහිදී විශේෂ ප්‍රමුඛතාවක් හිමිවනු ඇත. අනාගතයේදී ඇතිවිය හැකි දේශගුණික විපර්යාසයන්ට හා ආන්තික කාලගුණික තත්ත්වයන්ට සාර්ථකව මුහුණ දිය හැකි අයුරින් මෙම මාර්ග ප්‍රතිසංස්කරණය කෙරෙන අතර, විධිමත් ජලපවහන පද්ධති, නායයෑම් පාලන ක්‍රමවේද සහ දියුණු ඉංජිනේරු තාක්ෂණයන් ඒ සඳහා යොදා ගැනීමට සැලසුම් කර තිබේ.
දිට්වා සුළි කුණාටුවෙන් මෙරට ප්‍රවාහන හා යටිතල පහසුකම්වලට බරපතළ හානියක් සිදුවුවද, එය වඩාත් ශක්තිමත් යටිතල පහසුකම් ජාලයක් ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකාවට ලැබුණු කදිම අවස්ථාවක් බව ලෝක බැංකුවේ ශ්‍රී ලංකා කළමනාකරු ගෙවෝර්ග් සග්සියන් මහතා පෙන්වා දෙයි. ඔහුගේ අදහසට අනුව, මෙම ව්‍යාපෘතිය හුදෙක් මාර්ග අලුත්වැඩියාවකට පමණක් සීමා නොවී, බිඳවැටුණු ජනජීවිතය යළි නඟාසිටුවීමටත්, ගොවීන් හා සාමාන්‍ය පවුල් යළිත් අත්‍යවශ්‍ය සේවා මෙන්ම වෙළෙඳපොළ සමඟ සම්බන්ධ කිරීමටත් සෘජුවම දායක වනු ඇත.
මෙම නව මූල්‍ය ආධාරයත් සමඟ දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතින ග්‍රාමීය හා නාගරික සම්බන්ධතා සංවර්ධන ව්‍යාපෘතියේ කාලසීමාව තවත් වසර තුනකින් දීර්ඝ කෙරේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රවාහන සම්බන්ධතා ක්ෂේත්‍රය වෙනුවෙන් ලෝක බැංකුව විසින් සිදුකර ඇති සමස්ත ආයෝජනය අමෙරිකානු ඩොලර් මිලියන 610ක් දක්වා ඉහළ යනු ලබයි. මෙම ව්‍යාපෘතිය මගින් දිස්ත්‍රික්ක අටක් පුරා ජීවත්වන ලක්ෂ විස්සකට ආසන්න ජනතාවකට සෙත සැලසෙන අතර, ඉන් පුද්ගලයන් 830,000කට වැඩි පිරිසකට සෘජු ප්‍රතිලාභ හිමිවීමට නියමිත බව ලෝක බැංකුව සඳහන් කරයි.
තවද, මෙම මාර්ග සංවර්ධන හා නඩත්තු ක්‍රියාවලිය හරහා නව රැකියා මෙන්ම වැඩිදියුණු කළ රැකියා අවස්ථා 5,671ක් පමණ අලුතින් උත්පාදනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඊට අමතරව, යටිතල පහසුකම් බිඳවැටීමෙන් පීඩාවට පත්ව සිටි තේ, එළවළු සහ වී වගාවන්හි නිරත ගොවි මහතුන් 22,000කට ආසන්න පිරිසකට සිය නිෂ්පාදන කඩිනමින් ගැනුම්කරුවන් වෙත යොමුකිරීමටත්, බාධාවකින් තොරව සැපයුම් දාමයන් හා යළි සම්බන්ධ වීමටත් මෙමගින් පුළුල් අවකාශයක් නිර්මාණය වනු ඇත.
