he-tried-to-video-ranil-and-he-covered-him-up---sirasa-cameraman-arrested

හිටපු ජනාධිපති රනිල් වික්‍‍රමසිංහ මහතාගේ ප්‍රභූ ආරක්ෂක නිලධාරියෙකුට සිය කැමරාවෙන් පහර දීමේ සිද්ධියකට අදාළව සිරස පෞද්ගලික මාධ්‍ය ආයතන කැමරා ශිල්පියෙකුව අද (01) කොම්පඤ්ඤවීදිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය විසින් ඊයේ (30) දිනයේදී සිදු කළ කැඳවීමකට අනුව අදාළ සැකකරු සිය නීතිඥවරයා ද සමග ප්‍රකාශයක් ලබා දීම සඳහා පොලිස් ස්ථානයට පැමිණි අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.




මෙම අවාසනාවන්ත සිදුවීම ඊයේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී වාර්තා විය. නඩු කටයුත්තක් සඳහා එහි පැමිණි හිටපු ජනාධිපතිවරයා ඉන් පිටව යන අවස්ථාවේදී අදාළ මාධ්‍යවේදියා විසින් සිය කැමරාව භාවිත කරමින් ආරක්ෂක නිලධාරියාට මෙලෙස ප්‍රහාරය එල්ල කර තිබුණි. එම අවස්ථාවේදී පොලීසිය වහාම මැදිහත් වී සැකකාර කැමරා ශිල්පියාව අදාළ ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කළ අතර, පහරදීම සිදුවන ආකාරය අසල සිටි වෙනත් මාධ්‍යවේදීන්ගේ කැමරාවල සටහන්ව තිබූ බැවින් එම දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ ද පුළුල් ලෙස සංසරණය විය.

මේ ගැන සිය සගයින්ට අදහස් දැක්වූ මාධ්‍යවේදියා ප්‍රකාශ කරේ තමා කැමරා කාචය වෙත ඇස යොමා වීඩියෝ කරමින් සිටි බවත් පැමිණියේ ආරක්ෂකයා බව නොදැන සිටි බවත්ය.'රනිල්ව වීඩියෝ කරන්න හැදුවෙ එයා කවර් කරා ඒකයි පොඩ්ඩක් කේන්ති ගියේ.. පස්සෙ දන්නෙ එයා සිකියුරිටි කියලා' ඔහු පවසා ඇත.




අදාළ සිද්ධියෙන් පහරකෑමට ලක්ව ඇත්තේ පොලිස් ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන් ඒ. එච්. මහේෂ් රන්ජන් නැමති නිලධාරියාය. ප්‍රහාරයට ලක්වූ එම ආරක්ෂක නිලධාරියා සිද්ධියෙන් අනතුරුව රෝහල්ගත කර ඇති අතර, ඔහු මේ වන විට නාරාහේන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බව වැඩිදුරටත් වාර්තා වේ. 
එම පහරදීම සුළු සිද්ධියක් ලෙස පෙනෙන්නට තිබුණත් රනිල් වික්‍රමසිංහට එරෙහි කාලයක් තිස්සෙ සිදුවන සිරස ටීවී ප්‍රචාරණයන් හා සම්බන්ධ කර දේශපාලනික මුහුණුවරකින් ඒ ගැන විවේචන පළවෙමින් පවතී.

gossiplanka image