kavantissa-elephant-dies

මෙරට ජීවත් වූ දැවැන්තම මෙන්ම උසින් වැඩිම වන අලියෙකු ලෙස ප්‍රකටව සිටි 'කාවන්තිස්ස' හස්තිරාජයා දැඩි අසනීප තත්ත්වයෙන් පසුවී අද (16) දිවියෙන් සමුගත්තේය. අද උදෑසන සියඹලන්ගමුව ප්‍රදේශයේ ඇදවැටී සිටියදී සොයාගැනුණු මෙම දැවැන්තයාගේ ජීවිතය බේරාගැනීම වෙනුවෙන් අවසන් මොහොත දක්වාම දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක විය.




කාවන්තිස්ස හස්තියා ඇදවැටුණු මොහොතේ සිට උගේ ජීවිතය ගලවා ගැනීම උදෙසා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය කණ්ඩායම් විසින් පැය විසිහතර පුරා ක්‍රියාත්මක දැඩි සත්කාර ප්‍රතිකාර මෙහෙයුමක් දියත් කර තිබූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තහවුරු කළේය. පරිසර අමාත්‍යවරයාගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ සෘජු උපදෙස් හා පූර්ණ අධීක්ෂණය යටතේ දියත් වූ මෙම සුවිශේෂී මෙහෙයුම සඳහා ත්‍රිවිධ හමුදාවේ පූර්ණ තාක්ෂණික මෙන්ම ආරක්ෂක සහායද නොඅඩුව හිමිව තිබුණි. හස්තියාට අවශ්‍ය ඖෂධ අඛණ්ඩව සැපයීම, කායික ස්ථාවරත්වය පවත්වා ගැනීම පමණක් නොව, හදිසි අවස්ථාවකදී සතා එසවීම සඳහා අවශ්‍ය වන විශේෂිත පටි ඇතුළු සියලු උපක්‍රමද අමාත්‍යවරයාගේ උපදෙස් මත කල්තියාම සූදානම් කර තිබිණි.

මෙම දැවැන්තයා බේරාගැනීමේ සටන හුදෙක් සාමාන්‍ය ප්‍රතිකාරයකට සීමා නොවීය. ඒ වෙනුවෙන් මෙරට ප්‍රමුඛතම සත්ත්ව වෛද්‍ය විශේෂඥයින්ගේ එකමුතුවෙන් සැකසූ විද්‍යාත්මක ප්‍රතිකාර සැලැස්මක් ක්‍රියාත්මක කෙරිණි. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ ප්‍රවීණ පශු වෛද්‍යවරුන් මෙන්ම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්යවරුන් ඇතුළු පුළුල් විද්වත් මණ්ඩලයක් මෙම කඩිනම් මෙහෙයුමට සිය ඒකාබද්ධ දායකත්වය සපයමින් ක්ෂේත්‍රයේ ප්‍රතිකාර කටයුතු සක්‍රීයව සිදු කරනු ලැබීය.




හස්තියාගේ තත්ත්වය බරපතළ වෙමින් පවතිද්දී, අද දිනයේදී ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා සහ පරිසර අමාත්‍යවරයා අතර විශේෂ සාකච්ඡාවක්ද පැවැත්විණි. එහිදී කාවන්තිස්සගේ සුවපත්භාවය වෙනුවෙන් අවශ්‍ය වුවහොත් විදේශීය විශේෂඥ පශු වෛද්‍යවරුන් ගෙන්වා ගැනීම සඳහා පූර්ණ අනුග්‍රහය සහ සහාය ලබාදීමට සිරිසේන මහතා සිය එකඟතාව පළ කර තිබුණි. දේශීය විශේෂඥ මණ්ඩලයේ වෛද්‍ය නිර්දේශ සහ අවශ්‍යතාව මත පදනම්ව, එම විදේශීය සහාය කඩිනමින් ලබාගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස පරිසර අමාත්‍යවරයා විසින් වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත උපදෙස් ලබාදීමටද පියවර ගෙන තිබිණි.

එහෙත්, මිනිස් ශ්‍රමය, ඉහළම වෛද්‍ය තාක්ෂණය සහ නොතිත් කැපවීම මැද දියත් වූ ඒ දැවැන්ත මෙහෙයුමට කාවන්තිස්ස හස්තියාගේ ජීවිතය රඳවාගැනීමට නොහැකි විය. ශ්‍රී ලංකාවේ වනජීවී සම්පතේ අද්විතීය සංකේතයක් වූ ඌ මෙලෙස සමුගත්තද, පාරිසරික සංරක්ෂණයේ අභියෝගයන්ට සාර්ථකව මුහුණ දෙමින් වනසතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඉදිරියටත් සියලු ආයතන ඒකාබද්ධව කටයුතු කරනු ඇති බව පරිසර අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කරයි.

kavantissa-elephant-dies



kavantissa-elephant-dies