ශ්රී ලංකාවේ අගනා වන අලි සම්පත ආරක්ෂා කර ගැනීමේ දැවැන්ත මෙහෙයුමක් මේ වන විට ක්රියාත්මක වෙමින් පවතී. එහි එක් පියවරක් ලෙස, ‘අග්බෝ’ ඇතා සෙවීමේ සහ එම සත්වයාගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් යුත් විශේෂ සෝදිසි මෙහෙයුමක් අද (19) දෙවන දිනටත් නාච්චාදූව වැව් රක්ෂිතය ආශ්රිතව දියත් කර තිබේ.
ඊයේ (18) දහවල් කාලයේදී තිරප්පනේ ප්රදේශයෙන් ආරම්භ කෙරුණු මෙම මෙහෙයුම සඳහා ශ්රී ලංකා යුද හමුදාව සහ වනජීවී නිලධාරීන් එක්ව කටයුතු කරන අතර, අද උදෑසන වන විට ඒ සඳහා යුද හමුදා සෙබළුන් පනස් දෙනෙකු පමණ සහභාගී වී සිටිති.අග්බෝ ඇතා කඩිනමින් සොයා ගැනීමේ කටයුතු වේගවත් කිරීම සඳහා පරිසර අමාත්යවරයා සහ ආරක්ෂක අමාත්යාංශයේ ලේකම්වරයා අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව, ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙස් මත මෙම විශේෂ හමුදා කණ්ඩායම පිටත් කර යවා ඇත. වාර්තා වී ඇති තොරතුරු වලට අනුව, අග්බෝ ඇතා ඊයේ දිනයේදී ඒරුවැව ප්රදේශයේ සිට ඒ-නමය මාර්ගය හරහා ගමන් කර නාච්චාදූව වැව් රක්ෂිතය දෙසට ගමන් කර තිබේ. ඒ අනුව අදාළ රාජ්ය ආයතනවල සහයෝගය ඇතිව අද දිනයේදී එම රක්ෂිතය සම්පූර්ණයෙන් ආවරණය වන පරිදි සෝදිසි මෙහෙයුම් පුළුල් කර ඇත.
අග්බෝ ඇතාගේ ආරක්ෂාව වෙනුවෙන් මෙලෙස කඩිනම් පියවර ගනිමින් සිටින පසුබිමක, බොහෝ දෙනාගේ ආදරයට මෙන්ම ගෞරවයට පාත්ර වූ ‘කාවන්තිස්ස’ ඇතාගේ මරණය සම්බන්ධයෙන් ද දැඩි අවධානයක් යොමු වී තිබේ. කාවන්තිස්ස ඇතාගේ මරණයත් සමඟ රට තුළ දැඩි කම්පනයක් සහ ඒ පිළිබඳව පුළුල් සමාජ කතිකාවතක් නිර්මාණය වී ඇති අතර, වෙඩි තැබීම් ඇතුළු විවිධ උපක්රම මගින් වන අලින් ඝාතනය කිරීම මෙරට ජෛව විවිධත්වයට සහ වනජීවී සංරක්ෂණයට එල්ල කරන දැවැන්ත තර්ජනයක් බවට පත්ව ඇත. මේ හේතුවෙන්, කාවන්තිස්ස ඇතාගේ මරණය සහ වන අලි සම්පත ඉලක්ක කරගනිමින් කිසියම් සැලසුම් සහගත කුමන්ත්රණයක් හෝ සංවිධානාත්මක ජාලයක් ක්රියාත්මක වන්නේ ද යන්න පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා පොලිසිය වෙත පරිසර අමාත්යාංශයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
පරිසර අමාත්යාංශයේ ලේකම්වරයා විසින් ඊයේ (18) දින පොලිස්පතිවරයා වෙත ලිඛිතව යොමු කරන ලද එම නිල ඉල්ලීම හරහා අවධාරණය කර ඇත්තේ, කාවන්තිස්ස ඇතාගේ මරණය ඇතුළුව මෙරට වන අලි ඝාතනය කිරීම පිටුපස ඇති සත්ය තොරතුරු ක්ෂණික විමර්ශනයක් මගින් හෙළිදරව් කර ගන්නා ලෙසයි. මෙම අපරාධයට සම්බන්ධ සියලු වගකිවයුත්තන් නොපමාව හඳුනාගෙන ඔවුන්ට එරෙහිව නීතිමය ක්රියාමාර්ග ගැනීම මෙරට වන අලි සම්පත ආරක්ෂා කිරීමේ ජාතික වගකීමක් බව ද එහි සඳහන් කර ඇත. සිදුවීමේ බරපතලකම සලකා බලා මෙම පරීක්ෂණ ඉතා කඩිනමින් අවසන් කරන ලෙසත්, විමර්ශනවල ප්රගතිය සහ ඉදිරි ක්රියාමාර්ග පිළිබඳව පරිසර අමාත්යාංශය නිරන්තරයෙන් දැනුවත් කරන ලෙසත් එමගින් වැඩිදුරටත් ඉල්ලා තිබේ.
වන අලි ඇතුන් ඇතුළු වන සතුන්ට සිදු කරන මෙවැනි හිරිහැර සහ ඝාතන වැළැක්වීම සඳහා මේ වන විටත් ක්රියාමාර්ග ගනිමින් පවතී. ඒ අනුව, වනජීවී දෙපාර්තමේන්තුවේ ප්රධානත්වයෙන් ත්රිවිධ හමුදාව, විශේෂ කාර්ය බලකාය සහ පොලිසිය එක්ව ඒකාබද්ධ මෙහෙයුම් සහ වැටලීම් සිදු කරන අතර, වන සතුන් ආරක්ෂා කිරීම සඳහා අවශ්ය නෛතික ක්රියාමාර්ග ද අඛණ්ඩව ක්රියාත්මක වෙමින් පවතී.