දියණියකගේ සාර්ථකත්වය දැකීම ඕනෑම පියෙකුට ආඩම්බරයට කරුණකි. එහෙත් තමන් සේවය කරන ගුවන් යානයේම සිය පියාට ගුවන් ගමනකට එක්වීමට අවස්ථාව ලැබීමත්, එහිදී ඔහුට විශේෂ පිළිගැනීමක් ලබාදීමටත් හැකිවීම දියණියකට මෙන්ම පියෙකුට ද අතිශය හැඟුම්බර අවස්ථාවකි.
එයාර් ඉන්ඩියා එක්ස්ප්රස් ගුවන් සේවයේ ගුවන් සේවිකාවක ලෙස කටයුතු කරන ශාලියාට පසුගියදා මෙවැනි දුර්ලභ අවස්ථාවකට මුහුණ දීමට ලැබුණාය. සිය පියා තමන් සේවය කරන ගුවන් යානයේ ගමන් කිරීමට නියමිත බව කල්තියා දැන සිටි ඇය, ඔහු වෙනුවෙන් විශේෂ පිළිගැනීමක් සූදානම් කර තිබුණාය. ගුවන් යානයට ගොඩවූ සිය පියාට මල් කළඹක් පිළිගන්වමින් ඇය ඔහුව ඉතා උණුසුම් ලෙස පිළිගත්තාය.
ඉන් නොනැවතුණු ශාලියා, මගීන්ට නිවේදන නිකුත් කරන මයික්රෆෝනය අතට ගෙන සිය පියා වෙනුවෙන් විශේෂ නිවේදනයක් ද සිදු කළාය. "අද මාත් එක්ක ඉතාමත් විශේෂ කෙනෙක් ගමන් කරනවා. ඒ මගේ තාත්තා. අද දවසේ තාත්තාව මේ ගුවන් යානය ඇතුළේ දකින එක මට ගොඩක් හැඟුම්බර අවස්ථාවක්. අද ඔයාගේ දුව ඔයාව අහසේ එක්කගෙන යනවා. මේ මොහොත මට හැමදාමත් විශේෂයි," යනුවෙන් ඇය එහිදී පවසා සිටියාය.
"මා ගැන විශ්වාසය තැබීමටත්, මට සහයෝගය ලබා දීමටත් ස්තූතියි තාත්තේ. ඔබට ගොඩක් ආදරෙයි," යනුවෙන් ද ඇය සිය නිවේදනයට එක් කළාය. අනතුරුව පියාට තේ කෝප්පයක් පිළිගන්වන අයුරුත්, ඔහු තමන්ගේ අසුනේ වාඩි වූ පසු ඔහු සමඟ සෙල්ෆි වීඩියෝවක් ලබාගනිමින් එම අවස්ථාව සතුටින් ගත කරන අයුරුත් ඇය සිය ඉන්ස්ටග්රෑම් ගිණුමේ පළ කළ වීඩියෝවේ දැක්වේ.
ඇයගේ ඉන්ස්ටග්රෑම් ගිණුමේ "ආඩම්බරකාරී මොහොතක්" යනුවෙන් සටහන් කරමින් පළ කර තිබූ මෙම වීඩියෝව මේ වන විට අන්තර්ජාලය පුරා වේගයෙන් හුවමාරු වෙමින් පවතී. පැය 24ක් වැනි කෙටි කාලයක් තුළ මිලියන 13.2කට අධික පිරිසක් එය නරඹා ඇති අතර, ඊට ලැබී ඇති ලයික් සංඛ්යාව ලක්ෂ 7කට අධිකය. එමෙන්ම පරිශීලකයින් දෙදහසකට වැඩි පිරිසක් ඊට කමෙන්ට් කර තිබේ. පියා සහ දියණිය අතර ඇති බැඳීම මෙය සදාකාලික මතකයක් වනු ඇති බවට බොහෝ දෙනෙකු එහි අදහස් දක්වා ඇත. ඉන්ස්ටග්රෑම් හි ලක්ෂ දෙකකට අධික ෆලෝවර්ස්ලා ප්රමාණයක් සිටින ශාලියාගේ මෙම සෙනෙහෙබර වීඩියෝව පිය-දූ සෙනෙහස පිළිබඳව බොහෝ දෙනෙකුගේ හදවත් ස්පර්ශ කිරීමට සමත්ව ඇත.
