namal-was-sent-to-prison-for-another-2-weeks-despite-being-told-my-mother-is-in-the-hospital-my-father-is-in-the-hospital-please-grant-me-bail

එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවේදී අල්ලස් ලබා ගත් බවට චෝදනා ලබමින් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට ඇප ලබා ගැනීම සඳහා විත්තිය විසින් අධිකරණය හමුවේ ගෙනහැර දැක්වූ 'මව්පියන්ගේ රෝගී තත්ත්වය' පිළිබඳ කරුණු දැක්වීම, වෛද්‍ය වාර්තා මගින් තහවුරු නොකිරීම හේතුවෙන් අද (13) අධිකරණය හමුවේ නිෂ්ප්‍රභ විය. ඒ අනුව, මන්ත්‍රීවරයා තවදුරටත් මේ මස 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්.

බෝදරගම මහතා නියෝග කළේය.




නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට දැනුම් දුන්නේ ඔහුගේ පියා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෞද්ගලික රෝහලකත්, මව වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය කොළඹ ජාතික රෝහලේත් මේ වන විට එකවර ප්‍රතිකාර ලබමින් සිටින බවයි. සැකකරුගේ මව සහ පියා දෙදෙනාම එකවර රෝහල්ගතව සිටීම ඇප ලබා දීම සඳහා සුවිශේෂී කරුණක් ලෙස සලකන ලෙස ඔවුහු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

එහෙත් ඊට ප්‍රතිචාර දැක්වූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේ, මව්පියන්ගේ රෝගී තත්ත්වය පිළිබඳව මාධ්‍ය වාර්තා පළ වී ඇති බව තමන්ද දැක ඇතත්, හුදෙක් මාධ්‍ය වාර්තා මත පමණක් පදනම්ව නෛතික වශයෙන් රෝගී තත්ත්වයක් තහවුරු වූ බවට නිගමනය කළ නොහැකි බවයි. ඒ සඳහා වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් කළ යුතු වුවද, මීට පෙර නඩුව කැඳවූ අවස්ථාවේදී මෙන්ම අද දිනයේදීද මවගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් කිසිදු වෛද්‍ය සාක්ෂියක් ඉදිරිපත් කර නොමැති බැවින් එය සුවිශේෂී කරුණක් ලෙස පිළිගත නොහැකි බව ඔහු අවධාරණය කළේය.




මෙයට අමතරව, විමර්ශන අවසන් වී තිබීම ඇප ලබා දීමට තවත් සුවිශේෂී කරුණක් ලෙස විත්තියේ නීතිඥවරුන් පෙන්වා දුන් නමුත්, එයද මහේස්ත්‍රාත්වරයාගේ පිළිගැනීමට ලක් නොවීය. වෙනත් නඩු වලදී විමර්ශන සඳහා දීර්ඝ කාලයක් ගත වීම හේතුවෙන් විමර්ශන අවසන් වීම සුවිශේෂී කරුණක් ලෙස සැලකුවද, මෙම නඩුවේදී පැමිණිල්ල විසින් ඉතා කඩිනමින් විමර්ශන අවසන් කර අධිචෝදනා සකස් කර තිබීම පැහැදිලි වෙනසක් බව මහේස්ත්‍රාත්වරයා පැහැදිලි කළේය.

අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණයට දැනුම් දුන්නේ, අල්ලස් පනත සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව අධිචෝදනා කෙටුම්පත් කර මේ වන විට අවසන් බවයි. ඒ අනුව අධිකරණ සංවිධාන පනතේ විධිවිධාන ප්‍රකාරව ඔහුට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ නඩු පැවරීමට අගවිනිසුරුවරයාගෙන් අද හෝ හෙට දිනයේදී ඉල්ලීමක් කරන බවද ඔහු සඳහන් කළේය.



මෙම නීතිමය පියවරයන් හේතුවෙන් නාමල් රාජපක්ෂ මහතා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන අවසන් දිනය අද විය හැකි බව ප්‍රකාශ කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා, නඩු විභාගය අවසන් වන තෙක් සැකකරු බන්ධනාගාරගත කර තැබීමට ප්‍රතිපාදන පවතින බැවින් විමර්ශන අවසන් වීම පමණක් පදනම් කරගෙන ඇප ලබා දිය නොහැකි බව තර්ක කළේය.

මේ අතර මෙම නඩු කටයුත්තට අදාළව බිස් සොලියුෂන් සමාගම නඩුවේ පස්වැනි සැකකරු ලෙස නම් කරන බවද අද දිනයේදී දැනුම් දෙනු ලැබිණි.

සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව පැමිණිලි පාර්ශ්වයට විශේෂ උපදෙසක් ලබා දුන් මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේ, විමර්ශන අවසන් කර ඇති නඩුවක අධිචෝදනා ගොනු කිරීම තවදුරටත් ප්‍රමාද නොකළ යුතු බවයි. සැකකරුවකුට මහේස්ත්‍රාත් අධිකරණයේදී හෝ ඉදිරියේදී නඩුව විභාග කිරීමට නියමිත ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේදී හෝ ඇප ඉල්ලීමට අවස්ථාවක් නොලැබෙන තත්ත්වයක් ඇතිවීම සුදුසු නොවන බව අවධාරණය කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, එයාබස් ගනුදෙනුව සම්බන්ධයෙන් සකස් කර ඇති අධිචෝදනා කඩිනමින් ගොනු කිරීමට පියවර ගන්නා ලෙස නියෝග කළේය.