three-wheeler-driver-who-sneaked-into-hotel-room-with-woman-falls-ill-and-dies

කාන්තාවක කැටුව සපුගස්කන්ද ප්‍රදේශයේ හෝටලයකට පැමිණි ත්‍රීරෝද රථ රියැදුරකු එම කාමරය තුළදීම හදිසියේ රෝගාතුර වී මියගොස් තිබේ. කෙසේ වෙතත්, මෙම සිදුවීමේ කැපීපෙනෙන කරුණ වන්නේ ඔහු සමඟ පැමිණි කාන්තාව මරණයත් සමඟම හෝටලයෙන් පලා ගොස් තිබීමයි.




පසුගිය 11 වැනිදා අදහස් දැක්වූ සපුගස්කන්ද පොලිසියේ නිලධාරියෙකු සඳහන් කළේ, මියගිය ත්‍රීරෝද රථ රියැදුරා සහ අදාළ කාන්තාව අතර අනියම් සබඳතාවක් පැවති බවට කියැවෙන බවයි. ඔවුන් දෙදෙනා එක්ව හෝටල් කාමරය වෙන් කරවාගෙන ඒ තුළට ගොස් ඇති අතර, එහිදී ඔහු හදිසියේම රෝගාතුර වී ඇත.

සිද්ධිය වන අවස්ථාවේදී අදාළ කාන්තාව කාමරයෙන් පිටතට පැමිණ, තමන් සමග පැමිණි පුද්ගලයා සිහිසුන්ව ඇඳ මත සිටින බව හෝටල් සේවකයකුට දැනුම් දී තිබේ. තත්ත්වය වටහාගත් එම සේවකයා වහාම ක්‍රියාත්මක වී 1990 ගිලන් රථ සේවයට ඒ මොහොතේම ඇමතුමක් ලබා දීමට පියවර ගෙන ඇත.




ඒ අනුව කඩිනමින් හෝටලය වෙත පැමිණි ගිලන් රථයේ නිලධාරීන් සිහිසුන්ව සිටි පුද්ගලයා පරීක්ෂා කර බැලූ අතර, ඒ වන විටත් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවට ඔවුන් විසින් දැනුම් දෙනු ලැබිණි. ඉන් අනතුරුව, හෝටල් සේවකයා අදාළ කාන්තාවගෙන් මියගිය පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන් පිළිබඳ තොරතුරු විමසා දැනගෙන, ඔවුන්ට ද මේ බව දැනුම් දීමට කටයුතු කර තිබේ.කාන්තාව අනතුරුව හෝටලයෙන් පලා ගොස් ඇති බවද වැඩිදුර තොරතුරු ඇගෙන්  සොයාගන්නට බැරිව ගිය බවද පැවසේ.