දශක තුනකට අධික කාලයක් මෙරට පුවත්පත් කලාවේ දෘශ්ය ඉසව්ව පෝෂණය කළ ලේක්හවුස් ආයතනයේ ඡායාරූප කර්තෘ ජ්යෙෂ්ඨ ඡායාරූප මාධ්යවේදී තිලක් පෙරේරා මහතා මහරගම අපේක්ෂා රෝහලේදී (20) පස්වරුවේ අභාවප්රාප්ත විය.
තලවතුගොඩ අග්රාමාත්ය විදුහලෙන් ප්රාථමික අධ්යාපනය ලබා කොළඹ සුසමයවර්ධන මහා විදුහලෙන් වැඩිදුර අධ්යාපනය ලැබූ ඔහු, ඡායාරූප ශිල්පීන්ගේ සංගමයට එක්වෙමින් සිය වෘත්තීය ගමන් මග ආරම්භ කළේය.
අනතුරුව ලේක්හවුස් ආයතනයට එක්වූ තිලක් පෙරේරාගේ දක්ෂතාව හඳුනාගත් ජ්යෙෂ්ඨ කර්තෘ තිලකරත්න කුරවිටබණ්ඩාර මහතා ඔහුව 'සරසවිය' පුවත්පතට එක්කර ගැනීමට පියවර ගත්තේය.
සිනමාව, වේදිකාව මෙන්ම ටෙලිනාට්ය ක්ෂේත්රයේ ප්රවීණයන්ගේ ආකර්ෂණීය ඡායාරූප රැසක් 'සරසවිය' මුල් පිටුවට එක්කළ ඔහු, පාඨක මනස ආකර්ෂණය කරගත් සුවිශේෂී ශිල්පියෙකු විය.
'සිළුමිණ' පුවත්පතේ 'රසඳුන' අතිරේකයේ සමාරම්භක සංස්කාරක ධර්මසිරි ගමගේ මහතා සමග එක්ව දිවයින පුරා සංචාරය කරමින් සුන්දර චාරිකා සටහන් පෙළකට දෘශ්ය ජීවය සැපයීමට ඔහු දායක විය.
පසුව 'සන්ඩේ ඔබ්සවර්' කර්තෘවරුන් වූ ලක්ෂ්මන් ගුණසේකර, ජයතිලක සිල්වා සහ දිනේෂ් වීරවංශ යන මහත්වරුන්ගේ මගපෙන්වීම යටතේ ප්රවෘත්ති, වනජීවී සහ ක්රිකට් පිටියේ සුවිශේෂී අවස්ථා රැසක් සිය කැමරාවට හසුකර ගැනීමට ඔහු සමත් විය.
උතුරු නැගෙනහිර යුධ මෙහෙයුම් සමයේ සිය ජීවිත අවදානමද නොතකා ආරක්ෂක හමුදා සමග ඉදිරි ආරක්ෂක වළල්ලටම ගිය තිලක් පෙරේරා, යුද බිමේ තොරතුරු පාඨකයා හමුවට ගෙන ආවේය.
පුවත්පත් කලාවෙන් ඔබ්බට යමින් බූඩි කීර්තිසේනගේ ‘මාතා’ සහ එම්. සපීර්ගේ ‘මම නෙවෙයි’ වැනි සිනමා නිර්මාණවල නිශ්චල ඡායාරූප ශිල්පියා (Still Photographer) ලෙසද ඔහු සිය ප්රතිභාව විදහා දැක්වීය.
චාන්දනී අතුකෝරළ මහත්මියගේ ආදරණීය සැමියා වූ ඒ මහතා, 'ද මෝර්නින්' (The Morning) පුවත්පතේ උප කර්තෘවරියක වන තරිණි සරලා සහ තරුෂි නේත්රාගේ ආදරණීය පියාණන්ය.
දේහය අංක 351A, පන්නිපිටිය පාර, තලවතුගොඩ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු ඔක්තෝබර් 22 බ්රහස්පතින්දා පස්වරු 3.00ට තලවතුගොඩ පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.