gotas-motion-to-avoid-easter-case-and-go-to-singapore-is-rejected

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු බුද්ධි අධ්‍යක්ෂ සුරේෂ් සලේ සැකකරුවකු කරමින් සිදු කෙරෙන විමර්ශනවලට සමගාමීව තවත් සුවිශේෂී පරීක්ෂණ කිහිපයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය. කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටිමින් මෙම නව විමර්ශනවල දිශානතිය පිළිබඳව කරුණු අනාවරණය කළේය.

මෑතකදී ත්‍රිපුද්ගල මහාධිකරණයක් මගින් පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන නඩුකරයට අදාළව දඬුවම් නියම කළ මිල්හාන්, රිස්කාන් සහ සෙයිනුල් ආබ්දීන් යන වැරදිකරුවන් තිදෙනා දඬුවම් නියම වන අවස්ථාවේ විවෘත අධිකරණයේදී කළ ප්‍රකාශ සම්බන්ධයෙන් එහිදී දැඩි අවධානයක් යොමුව ඇති බව ඔහු සඳහන් කළේය. ඒ අනුව එම ප්‍රකාශ මත පදනම්ව ඔවුන්ගෙන් වැඩිදුරටත් ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කළ ඉල්ලීමට මහේස්ත්‍රාත්වරයාගෙන් අවසර හිමි විය.




මෙම පරීක්ෂණ ජාලය තවත් දේශපාලන චරිත කිහිපයක් වෙතද ව්‍යාප්ත වී ඇති බව අධිකරණයේදී හෙළි විය. හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා සහ ඊ.පී.ඩී.පී. පක්ෂයේ දේශපාලන කටයුතු කළ සංගර් යන අයගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි. මෙම විමර්ශනයේ ප්‍රධාන සාක්ෂිකරු ලෙස සැලකෙන හන්සීර් අසාද් මවුලානා නමැත්තා කරුණා පාර්ශ්වයට සහ පිල්ලෙයාන් පාර්ශ්වයට හඳුන්වා දී ඇත්තේ ඩග්ලස් දේවානන්දා විසින් බවට එමගින් තොරතුරු අනාවරණය වී ඇතත්, ඔහු සිය ප්‍රකාශය ලබා දීමේදී එම කරුණු ප්‍රතික්ෂේප කරමින් තොරතුරු සඟවා ඇති බව දිලීප පීරිස් අධිකරණයට පෙන්වා දුන්නේය. ඒ සම්බන්ධයෙන් ඩග්ලස් දේවානන්දාට එරෙහිව ඉදිරියේදී ගත යුතු පියවර පිළිබඳව සලකා බලමින් සිටින බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය. මීට අමතරව කරුණා අම්මාන්ට රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් ලබා දීම සම්බන්ධයෙන්ද විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, ඊට අදාළ ලේඛන විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ලබා ගැනීම සඳහා අවශ්‍ය නියෝගද අද දිනයේදී ලබා ගැනිණි.

මේ අතර, නඩුවේ සැකකරුවකු නොවන හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නීතිඥ සනත් විජේවර්ධන මාර්ගයෙන් අධිකරණයට යොමු කර තිබූ මෝෂන් පත්‍රයක් සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු විය. සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලේදී මීට පෙර සිදු කළ හෘද සැත්කමකින් පසු අවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ සඳහා සහභාගී වීමට සිය විදෙස් ගමන් තහනම ලිහිල් කරන ලෙස ඔහු ඉන් ඉල්ලා තිබුණි. එහෙත් අදාළ මෝෂන් පත්‍රයේ දිනයක් සඳහන්ව නොතිබීම හේතුවෙන් රෙජිස්ට්‍රාර්වරයා විසින් එය ප්‍රතික්ෂේප කර තිබූ බව මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේය. කෙසේ වෙතත්, එම ඉල්ලීමේ පිටපතක් තමන්ටද ලැබුණු බවත්, විධිමත් ලෙස අදාළ ඉල්ලීම ඉදිරිපත් කරන්නේ නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඊට මානුෂීයව සලකා බැලීමට සූදානම් බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ප්‍රකාශ කළේය.




නඩුවේ පළමු සැකකරු මුදාහරින ලෙස නීතිඥ ස්වස්තිකා අරුලිංගම් අද අධිකරණයෙන් ඉල්ලීමක් කළද, ඊට අදාළව මීට පෙර තමන් නියෝගයක් නිකුත් කර ඇති බැවින් මහාධිකරණයට ප්‍රතිශෝධන අයදුම්පත්‍රයක් යොමු කරමින් එම ඉල්ලීම කළ හැකි බව මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේය. නඩු විභාගය අවසානයේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයෙන් වන විමර්ශනවල ප්‍රගතිය ගැන මහේස්ත්‍රාත්වරයා විමසීමක් කළ අතර, ඊට පිළිතුරු දුන් දිලීප පීරිස් කියා සිටියේ තමන්ට අනුව ගෝඨාභය රාජපක්ෂ මෙම නඩුවට අදාළව ප්‍රබල පුද්ගලයකු වන නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනවලින් අනාවරණය වන සාක්ෂි මත පදනම්ව ඒ සම්බන්ධයෙන් කටයුතු කරනු ඇති බවයි. නඩුවේ වැඩිදුර කරුණු දැක්වීම ලබන නොවැම්බර් 25 වැනිදා දක්වා කල් තැබිණි.